සිතුවිලි වෙනස්

යමෙක් දන්නේද, දන්නා බව නොදන්නේද,
               ඔහු නින්දේය, අවදි කරන්න.

යමෙක් නොදන්නේද, නොදන්නා බව දන්නේද
              ඔහු අසරණයෙකි, පිහිට වන්න

යමෙක් දන්නේද, දන්නා බව දන්නේද
              ඔහු පණ්ඩිතයෙකි, ඇසුරු කරන්න

යමෙක් නොදන්නේද, නොදන්නා බව නොදන්නේද
             ඔහු මෝඩයෙකි, දුරු කරන්න


මෙය කව්රුන් කෙසේ කා සදහා ලියුවක්ද යන්න නොදනිමි. මට මතක ඇත්තේ කොහේ හෝ පොතක මා මෙය දුටු බවකි. පද හතරකින් ලොකු වෙනසක් කල හැකි බව මට තේරුණු මුල්ම දවස නම්, මේ පද හතර ඇස ගැසුනු දවස යයි මම සිතමි. රචකයෙකු ලිවිය යුත්තේ "කටට එන - හිතට එන" ඕනෑම දෙයක් නොව, "ගතට දැනෙන - සිතට දැනෙන" යමක් බව මගේ හැගීමයි. කෙටියෙන් කීවොත් කතාව ඇත්තය. තවත් කෙටියෙන් කීවොත් "සීන් එක පට්ට ඇත්තය". නමුත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. නින්දේ හිදින්නා අවදි නොව්නහොත් හෝ අසරණයාට තමන් ලැබූ සරන ගැන "වගේ වගක්" නැති වුවහොත් වන්නේ කුමක්ද කියන එකය.

සමහරු ඉන්නේම නින්දේය. ඇහැරවා යමක් ඔලුවට දැමුවද, 'නිදි මරගාතේම' එය අසා සිට නැවතත් සුපුරුදු නින්දටම වටේ. අසරණයාට සරන වන්නට යමෙක් උත්සහ කලද, ඉන් 'ගොඩ යන්නේ' අල්ප දෙනෙකි. ඉතිරි අය එක්කෝ පුරුදු පරිදි හිගමන් යදින්නට වෙයි. එක්කෝ උදව් කල එකාට 'හොම්බෙන් යන්නට' වැඩක් 'සෙට්' කරයි. අපේ ගොඩක් උන් එහෙමය. ප්‍රශ්නය ඇත්තේද එතනය. මිනිසුන් වෙනස් වීමට කැමති නැත. ඉන්නා තැනම, ඉන්නා තට්ටුවේම ඉන්නවා විනා, ඊලග තට්ටුවට "ස්ලැබ්" එක දා ගැනීමටවත් උන්ට උවමනා නැත. "ස්ලැබ්" එක දාන්නට කව්රුන් හෝ උදව් කළහොත් ඌවත් අපායටම ඇද දානවා විනා 'ගොඩ' යාමේ පරමාර්තයක් ගොඩක් උන්ට නැත. ලංකාව හැමදාමත් 'සංවර්ධනය වෙමින් පවතින රටක්' වන්නේ ඒ නිසා විය හැකිය.

අද රටේ ගොඩක් මිනිස්සු නැතිවාදම කියවති. 'මට අරක නැතය. මේක නැතය. ඒකත් නැතය. අරක ඕනාය. මේකෙන් මේක හදා ගත හැකිය. නමුත් මේක නැතය' නැතිවාදම කියවන්නේ ඔහොමය. තේරුම් ගත යුතු එක දෙයක් තිබේ. එනම් 'නැත කීවොත් හැමදාම නැතම තමාය' කියන එකය. නැත කී විට ඇති වන්නේ නැත. ඇති වන්නට නම් ගොඩ නගා ගත යුතුය. ඕනෑම දෙයක් එහෙමය. 'ඉබේ පහල වන දේ' ඉතා අඩුය. තිබ්බත් ඒවා මිනිසුන්ට කැප නැත.

ලෝකය එක දවසින් ගොඩ නැගුනක් නොවේ. විදුලි බුබුල නිපදවු තෝමස් අල්වා එඩිසන් විද්වතා එක් දහස් එක් වතාවක් උත්සහ කල නිසා අද අපි රෑටත් එලිය බලන්නෙමු. දහස් වෙනි වතාවෙන් ඔහු එය නවතා ඇදට වැටි නිදා ගත්තේ නම් අදටත් අපි අදුරේය. වෙනස් කරන්නට මිනිස්සු උත්සහ කරති. නමුත් 'වෙනස් කිරීම' ලෙහෙසි නැත. 'වෙනස් වීම' ලෙහෙසිය. වෙනස් කරන්නේ ලෝකයක්ය. නමුත් වෙනස් වන්නේ තම තමන්මය.

ඉතිං අපි වෙනස් විය යුතුය. වෙනස් විය යුත්තේ සිතන පතන අයුරුය. වැදගත් වන්නේ නෑ බෑ කර පින්නා ගන්නේ නැතුව හිදීමය. දුර්වලයා හා දක්ෂයා අතර ඇත්තේ බැමි කිහිපයක් පමණි. ඉන් එකක් වන්නේ මෙයය. මේ ගැන තවත් සිතීම ඔබට බාරය. ඉතිං පටන් ගැන්ම මෙසේය. අවසානය කෙසේ වේදැයි නොදැනිමි.


Written By : Champani Abeykoon

Comments

Post a Comment

Popular posts from this blog

Hanthana Sihinaya

I am My Favourite

FMF Media Induction Day 2018