පුංචි දෑතට පුංචි සවියක් : නිකවැරටිය




ඒක හරිම අපූරු හැන්දෑවක්. නිකන්ම නිකන් හැන්දාවක් නෙවෙයි; හති වැටුණු හැන්දෑවක්.. කවමදාවත් වෙලාවට කලින් වර්ථා කරලා පුරුද්දක් නැති සගයෝ කීප දෙනා ගමන පටන් ගන්න කලින්, රජරට රැජිණ දුම්රියේ තෙවැනි පංතියේ දොරක් අසලට එකතු කරගන්න දරපු මහන්සියත් එක්ක, වචනයේ අර්ථයෙන්ම ඒක හති වැටුණු හැන්දෑවක් තමයි.

අපි මේ විදියට යන්න සූදානම් වුණේ කොහෙද කියලා ඔයා හිතනවා ඇති. අපේ ගමනාන්තය වෙලා තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ උඩහේන ග්‍රාමයේ ළමා නිවාසයක්. හරියටම කිව්වොත් දෙවන වසර සහෝදරත්වයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන "පුංචි දෑතට පුංචි සවියක්" පදනමේ හතරවන ව්‍යාපෘතිය සදහා තමයි අපි ඒ විදියට යන්න සූදානම් වුණේ. කොළඹ නාගරික පරිසරයෙන් මිදිලා රට මැද්දට ගිය ඒ ගමනේ රස වචනයෙන් කියන්න ඇත්තටම අමාරුයි. ඒක විදින්නට ඕන. රස කතා වලින්, රස කෑම වලින්, රසවත්ම දර්ශන වලින් පිරිලා ඉතිරිලා ගිය ඒ දුම්රිය ගමනට මහව හන්දියෙන් නැවතුම් තබන්නට අපට සිදු උනා. එතැන් සිට තවත් බස් රථ දෙකක හා ත්‍රි රෝද රථයක වෙහෙසකර ගමනකින් පසු අප ළමා නිවාසයට ළගා වන විට රෑ බෝ වී තිබුණා. රාත්‍රී ආහාරය සකසුනෙත් අප සහෝදර අත් වලින් මයි.

අපි අරමුණු කරගෙන පැමිණි කාර්යන් යෙදී තිබුණේ ඊට පසු දිනයටයි. පාන්දර නැගිටින එක කොයි තරම් අමාරු දෙයක් උණත් උදේ 4 ට ඇස් අරින්නට අපට සිදු උනා.ඒ උදෑසන දානය පිළියෙළ කිරීමේ කටයුත්තට.සරසවි ශිෂ්‍යන්ට එකට එකතු වෙලා වැඩ කිරීම ගැන අමුතුවෙන් කියා දෙන්නට දෙයක් නෑ කියන කාරණාව එතැනදී ලස්සනට ඉස්මතුවෙලා පෙනුණා. කොහොම වුණත් අවසානයේ රසවත් දානයක් පිළියෙළ උනා.

ඇත්තටම ඒ ළමා නිවාසයක්. අම්මගේ තාත්තගේ හෝ කිසිවකුගේම ආදරයත්, සෙනෙහසත් නොලැබෙන පොඩ්ඩෝ පිරිසක් හුස්ම ගන්නා තැනක්. ඒ පොඩි හිත් වල අසරණකම ගැන කතා කරලා ඔයාගේ හිතේ අනුකම්පාවක් ඇති කරවන්න මට ඕනෙකමක් නැහැ. උන්ට ඕනේ ආදරය මිසක් අනුකම්පාව නෙවෙයි.

එක අතකින් පිගානත් අනිත් අතින් කෝප්පයත් ගත්ත අම්මගේ තුරුලේ නැළවෙන තරම් වයසේ පුංචි පැටව් පේලියට ඇවිත් කෑම කන්න වාඩි උනා. ඒ පුංචි ඇගට දරා ගන්න වත් බැරි තරම් කෑම ගොඩක් ආසාවෙන් ඒ පොඩි කටවල් ඇතුලට යන හැටි මම පුදුමයෙන් බලාගෙන හිටියා. ඒත් බඩගිනි වෙන සැරේට අම්මගෙන් කෑම ඉල්ලගෙන කන්න වරම් නැති ඒ පොඩ්ඩෝ දෙන වෙලාවට කුස පුරවාගන්න ඕනේ කියලා මට මතක් උනේ ඊට පස්සේ.

ඒ පොඩ්ඩේකුට ආදරෙන් කතා කරන එකම වචනයක් ප්‍රමාණවත්. කාලාන්තරයක් තිස්සේ දැනන් හිටපු කෙනෙක් එක්ක කතා කරන තරම් ඒ සිගිති වචන ආදරනීයයි... මම හිතන්නේ රස කෑම, පොත්පත්, ඇදුම් පැළදුම්, සෙල්ලම් බඩු වලට වඩා ඒ දවසේ, ඒ පැටවුන්ට ලැබුණු ආදරය, සෙනෙහස ගොඩක් වටිනවා ඇති කියලයි මට හිතෙන්නේ. අපි ආයෙමත් එන්න සූදානම් වෙද්දී ආයාචනාත්මක ඇස් දෙකක් හරි හුරතල් කටහඩකින්
" ඔයාල ආයෙමත් එනවා නේද"
කියලා ඇහුවේ ඒ නිසාම වෙන්න ඇති.

Written By : Udani Nayanahansi










For more photos : Facebook

Comments

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19