Sarala Wana Tharamata Minisun Sonduruya.

සරල වන තරමට මිනිසුන් සොඳුරුය...

සැප්තැම්බර් මාසයේ ආරම්භය තියන්න හොඳ විදියක් අපි කල්පනා කර කර ඉන්නකොට එතනට ආව අපේම සොයුරෙක් කිව්වා "මන් ආටිකල් එකක් ලියලා ඉවරයි ඒක මං දෙන්නම්" කියලා. ඉතින් ඒ ආටිකල් එක ජීවිතේ ගැන. ජීවිතේ සරල වෙන්න වෙන්න අපිට ජීවිතේ සතුට වැඩි වෙනවා කියන එක ගැන..
අපි කියවලා බලමු සචින් සොයුරාගේ අදහස් මොන වගේද කියලා. ඔබට භාරයි තීරණය කරන්න ඔහුගේ අදහස් කොතරම් දුරට ඔබට වලංගුද ඒ අදහස එක්ක ඔබ කොච්චර දුරට එකඟද කියන එක. මේ ඔහුගේ අදහස ජීවිතේ සරල නම් එහි සොඳුරු බව වැඩියි කියන එක ඔහුගේම විදියට ඔප්පු කරන්න...

බුදුරජාණන් වහන්සේ සිය බුද්දපුත්‍රයන් වහන්සේලා හට දේශනා කර ඇත්තේ කුරුල්ලකු මෙන් සරල වන ලෙසයි. එනම් කුරුල්ලකු සතුව බරක් කියා ඇත්තේ තම පිහාටු බර පමණක් ලෙසම, බුද්ද පුත්‍රයන් වහන්සේලා සතුව ඇත්තේ කුඹුරක ලියැදි ආකාරයෙන් සකස් කරන ලද සිවුරක් හා අනෙකුත් සුලු ද්‍රව්‍ය කීපයක් පමණි. එනම් පෙරහන්කඩක්, පාත්‍රයක් වැනි යමක් පමණි. එබැවින් උන්වහන්සේලා හට සොර සතුරු බියක් නැත්තේය. එබැවින් ඒ පිලිබදව සිතිය යුතු ද නොවේ.
මෙම සංකල්පය සිතේ තබාගෙන වර්තමාන සමාජය දෙස බලමු. දිනකට පැය හයක් වත් නිදා ගැනීමට සිතට නිවනක් තිබේද? දැඩි ලෝභයෙන් ගොඩගසාගත් වස්තුව රැකීමටත් තව තවත් වස්තුව ගොඩගසාගැනීමටත් හැල්මේ දුවයි. එමෙන් ම ඇති පුද්ගලයා දුගියාව තලා පෙලා වස්තු රැස් කරයි. මිනිසුන් සතුව වස්තුව වැඩි වන තරමට බිය ද වැඩි නොවේ ද? තව දුරටත් ආශාව වැඩි නොවේ ද? සරල වන්න යන්නෙන් අදහස් කරන්නේ මුදල් පමණක් ම නොව එය එක උදාහරණයක් පමණි.

සරල වීම යනු තමා ගේ ඇදුම් පැළදුම්, කෑම බීම පවා සරල වීම මීට අදාල ය. පුද්ගලයා සංකීර්ණ වත්ම වියදම් ද වැඩි වේ. සරල උදාහරණය “ඔබ නිවසේ පිසූ ආහාර රැගෙන එමෙන් ඈත් වී තරු පන්තියේ අවන්හලකට හුරු වන්නේනම් ඔබේ වියදම් වැඩි වන්නා සේ ම වැඩිපුර උපයන්නට ද සිදු වේ. සරලව ඔබ සංකීර්ණ වේ.” ඇදුම් පැළදුම් පවා එසේ ය. උත්සවයකට වැනි යමකට සුදුසු පරිදි වයදම් කිරීම මින් අදහස් නොකරන අතර අනවශ්‍ය ලෙස අනවශ්‍ය මොහොතේ සංකීර්ණ වීම මින් අදහස් කරයි.

තවත් සරල උදාහරණයක් සපයන්නේනම් "සිල්වා මහතා හට මෝටර් රථයක් තිබේ. එහි වටිනාකම 20,000,000 වේ. නමුත් ඔහු ගේ සමාජ තත්වය ට එය මදි යයි සිතා 200,000,000 වටිනා මෝටර් රථයක් ඔහු මිලයට ගනී. මෙහිදී ඔහුගේ අවශ්‍යතාව උනේ සමාජ තත්වය විනා ප්‍රවාහන අවශ්‍යතාව නොවේ. පසුව සිල්වා මහතා ගේ දරුවා හට වකුගඩු රෝගයක් වැලදීම නිසා විශාල මුදලක් අවශ්‍ය වන මුත් රථයට කල වියදම නිසා එය සපයාගැනීම අපහසු වී තිබේ. මේ මත ඔබ කෙතරම් සංකීර්ණ වී ඇති ද? පසුව ඒ නිසාම කොතරම් අසරණ වී ඇති ද?" මෙසේ වුයේ අනවශ්‍ය මොහොතක අනවශ්‍ය ලෙස සංකීර්ණ වීමට යාම නිසා නොවේද? දරාගැනීමට හැකි අයුරින් ජීවත් වන්නේ නම් මේ කිසිවක් සිදු වන්නේ නැත.
 "අතීතයේ එක් ගමක පවුලක් එදිනෙදා වියදමට කුලී වැඩක් කර වේල සොයාගෙන ජිවත් වුනා. නමුත් සියල්ලන් කුස පිරෙන්න ආහාර අනුබව කරා පවුල සමගියෙන් සමාදානයෙන් කල් ගතකරා. දිනක් රටේ රජතුමා මේ නිවස දැකල තම සේවකයින් ලවා රන් මසුරන් 99 සහිත මල්ලක් මේ නිවස තුලට දැම්ම. ඒ දිනෙන් පස්සේ නිවස යුද පිටියක් වගේ වුනා. දෙමව්පියන්ගේ උවමනාව කෙසේ හෝ රන් මස්සක් සොයාගෙන මසුරන් 100 ක් හදාගන්න. කන්නේ බොන්නේ නෑ, දරුවන්ට සලකන්නේ නෑ, මහන්සිවෙලා වැඩ කරනවා විතරයි. තිබුන සතුට සුනුවිසුනු වුනා. කලින් රන් මසුරන් එකක් වත් නොතිබුන පැල්පත දැන් මසුරන් 99 ලැබිලත් නිවනක් නෑ." මෙතන හිතන්න ඉතුරු වෙන්නේ මොකද්ද? ලද දෙයින් සතුටු වෙන්න හැකියාව තිබුන නම් ඒ පැල්පත සතුට රැකගන්න පුලුවන් නේද?
වර්තමාන සමාජයත් එක්ක අපිට බුද්දපුත්‍රයන් තරම් සරල වීමට නොහැකි වුවත් ලට දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් යම් තරමක් දුරට සරල වෙන්න පුළුවන් නම් අපිට මානසික පීඩනය නිසා ඇතිවන ලෙඩරෝග පවා අඩු වේවි. සරලවම පෙනෙන්න තියන කරුණ නම් මොන දෙයටත් හේතුව අපේ හිත. අපි සතුටු වෙනවද, තරහ ගන්නවද, දුක් වෙනවද, අනිත් කෙනාට වල කපනවද, ඉරිසියා කරනවද, කියන දේ තියෙන්නේ අපේ සිතුවිලි මත. ඒ නිසා අපි සරල වෙන්න වෙන්න අනිත් කෙනාට අපි සොදුරු මිනිසුන් ලෙස පෙනේවි.

- සචින් රශ්මික මෙන්ඩිස් -

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...


Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19