Advance Level and Youth

ජීවිතේ එක එක අවධි වල අපිට එක එක විදියේ තීරණ ගන්න වෙනවා, වෙනස්කම් ක‍රන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතර අපි හැමෝම ආදරේ කරපු ඒ වගේම මැරෙනකම්ම ආදරේ කරන කාලයක් තමයි අපේ පාසැල් කාලය. ඒකෙත් අවසාන අවුරුදු දෙක දෙකහමාර වෙන් වෙන්නේ ලෝකේ අමාරුම විභාග වලින් එකක් විදියට සලකන උසස් පෙළ විභාගයට. ඒ අවුරුදු දෙක ගෙවන විදිය එක්ක අපේ අනාගතේට සැලකියයුතු මට්ටමේ වටිනාකමක් එකතු වෙනවා. ඒත් ඒ අවුරුදු දෙක මුළු ජීවිතේම කියන තර්කයට මම පෞද්ගලිකව විරුද්ධයි. අද ආටිකල් එක මුල් වෙන්නේ උසස් පෙළ විභාගය එක්ක අපේ තාරුණ්‍යය එකතු වෙන්නේ කොහොමද සහ ඒකේදි සිද්ධ වෙන්න පුලුවන් වැරදි, අඩුපාඩු ගැන. ආටිකල් දෙකක එකතුවක් විදියට අද මේ ගැන කතා කරන්න හිතුවේ මේක ඒ  තරම්ම සංකීර්ණ මාතෘකාවක් නිසාමයි. ආටිකල් දෙක අපිට ලියලා දුන්නේ දිල්නි සහ දිල්ෂාන්.

හිතලා බලන්න අපේ ඒ කාලේ කොච්චර සුන්දරද ඒ වගේම ඒක කොච්චර අසුන්දර වෙන්න පුළුවන් විදි අද වෙනකොට සමාජය බිලි අරන්ද කියන එක... පාරවල් දෙකක් පැහැදිලිවම අපේ ඉස්සරහ තියෙනවා. ඒ පාරවල් දෙකෙන් මොන පාර තෝරගන්නවද, මොන පාර අත අරිනවද කියන එක මේක කියවන ඔබට බාරයි.. 
අකලට පරවන ඒ ලෙවල් ජීවිත 

එදා ඉරිදා දිනයකි. වෙලාව දහවල් දොළහ පසුවී ගත වී ඇත්තේ මිනිත්තු තිහකටත් වඩා අඩු ප්රමාණයකි. අපි ගම්පහ නගරයේ කඩයකට ගොඩ වැදුනේ කෑම පාර්සලයක් මිලදී ගැනීමේ උවමනවෙනි. අපි යන විටත් කෑම කා අවසන් කල පිරිමි ළමයින් සිව් දෙනෙකු කැෂියර් ලගට පැමිණියේ බිල ගෙවීම සඳහාය. පාසල් බෑගයක්ද කර හොවාගෙන සිටින මේ පිරිමි ළමුන් පෙනුමෙන් පන්ති යන සිසුන් බව දකින ඕනෑම අයෙකුට හඳුනා ගැනීමට අපහසු නැත.

" ගාන කීයද?"

" අසූවක් දෙන්න"

එක් සිසුවෙකු රුපියල් සීයේ නෝට්ටුවක් කැෂියර්ට දුන්නේය. ඔහු ඉතුරු රුපියල් විස්ස ආපසු සිසුවාට දුන්නද සිසුවාගේ වදන් හමුවේ මා මවිතයට පත් විය.

"බුලත් විටක් දෙන්න"

මා ද මගේ මිතුරියන් දෙදෙනාද මුහණට මුහුණ බලා ගත්තේ පුදුමයෙනි. වයස අවුරුදු දහ අටක්වත් නොවූ මොවුන් කෑම කා විටක් කෑම පුරුද්දක් කරගෙන ඇතැයි සිතිය නොහැක. මන්ද එය මහලු වියේ ඇතිවන පුරුද්දක් වන බැවිනි. ඒ සමඟම බුලත් විට අතට ගත් ඔහු එය කලිසම් සාක්කුවේ ලා ගත්තේද මමත් මගේ මිතුරියන් දෙදෙනාත් ඔහුගේ මූණ බැලුවේද එකම විටය.

"ඒ බං පන්ති කීයටද?"

"එකට නේද බං? සර් කාරයා එද්දී එක හමාර පනිනවා"

"ඒ අද පන්ති යනවද බං?"

"උඹට පිස්සුද?"

"දැන් කොහෙද යන්නේ එතකොට?"

"අරහේ යමං"

"උඹ ළඟ බඩු තියෙනවනේ?"

"නැතුව නැතුව මල්ලී"

ඔහුගේ මූණේ ඇතිවූයේ ජයග්රාහී සිනහවකි. ඒ සමගම ඔවුන් කඩයෙන් පිටත්ව බස් නැවතුම දෙස බලා යන අයුරු මම බලා උන්නේ කලකිරීමෙනි. ලොකු හුස්මක්ද මට නොදැනීම පිට වූයේ නිරායාසයෙනි.
ඔවුන් අරහේ යැයි කීවේ, බඩු යැයි කීවේ මොනවාදැයි කොහේදැයි කියා මා අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වූවද ඔවුන් පන්ති නොගිය බව නම් සහතිකයෙන්ම කිව හැකිය. වයස අවුරුදු දහ අටක්වත් නොවූ මොවුන් තවම ඇටෙන් පොත්තෙන් එලියට ආවා පමණිය. කරන්නේ කුමක්ද, කල යුත්තේ කුමක්ද, කිරීමට සුදුසු කුමක්ද යන්න ඔවුන්ට තවමත් තේරුම් බේරුම් කර ගත නොහැක. ලැබෙන්නේ අසීමිතවූ නිදහසකි. කරන්නේ ඒ ලෙවෙල්ය. ඉස්සර මෙන් අම්මා තාත්තා පන්තියටම ඇවිත් ඇරලවන්නේද නැත. හොඳ අද්යාපනයක් ලබාදී තම දුව පුතා දිනක එහි හිනිපෙත්තෙහිම වැජඹෙනවා දැකීම කොයි අම්මා කෙනෙකුගෙත් තාත්තා කෙනෙකුගෙත් අරමුණයි. එහෙත් පන්ති යනවා යැයි පවසා අසරණ දෙමාපියන් හම්බ කරදෙන සොච්චමද රැගෙන ඉරිදාට ගෙදරින් බහින පුතා ගිය පංතියක් නොමැත. තවම පන්තියේ ගුරුවරයාව හරි හැටි දැක ඇත්දැයි සැක සහිතය.

කෙල්ලෙකුට වැරදුනොත් වැරදුනාමය. නාවා ගෙට ගත නොහැකිය. එහෙත් වටේ ගිය කොල්ලෙකු නාවා  ගෙට ගත් කළ සියල්ල සේදී පව් කමා වෙයි. ඉස්සර මෙන්ම අද වර්ථමානයේ දෙමාපියන්ද මෙසේ සිතා සිටියි. එහෙත් එය සත්ය නොවන බව අවබෝධ කොටගත් සුළුතරයක් ද නැතුවාම නොවේ. මත් රකුසාට වැඩි වශයෙන්ම අසු වන්නේ කොල්ලන්ය. ඒ අතර ඒ ලෙවල් ළමුන් ප්රමුඛ ස්ථානයක් ගනියි. මත් රකුසාට හසු වූ කොල්ලෙකු නාවා ගෙට ගත්තද වැඩක් නැත. නැවත පෙර තත්වයට ගැනීම අපහසුය. අම්මා, තාත්තා, නංගි, මල්ලි නොහඳුනන ඔහුගේ එකම නෑයා ඒ මත්කුඩු පමණී.
තම දියණිය ඇහැක් වගේ රැකගන්නවා මෙන්ම පුතුවද රැකගත යුතු කාලයකි මේ. අරක්කු සිගරට් වලින් අරඹා එහි අන්තය සෙවීමට ගත්කල ඔවුන් බේරා ගැනීම පහසු නොවේ. දෙමාපියන් බුද්ධිමත් විය යුතුය. එසේම සූක්ෂම විය යුතුය. දරුවාගේ මිතුරන් කවුද, පන්ති යන්නේ කොහෙද, ගිහින් කරන්නේ කුමක්ද යන්න පිලිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතුමය. වසර දෙකක් අවසානයේ ඒ ලෙවෙල් ද අසමත් වී වැඩ වැරදුන කල එදා වලට ගෙන ගිය මිතුරාද ළඟ නොසිටිනු ඇත. හිස්ව ගිය තම ආත්මය සහ හෘද සාක්ෂිය පමණක් ඉතිරි වනු ඇත.

මෙහි වගකීම දෙමාපියන්ට මෙන්ම සෘජුවම ටියුෂන් ගුරුවරුන්ටද එල්ල වනු ඇත. ඇටෙන් පොත්තෙන් එලියට එන මේ නාඹර වයසේදී කැම්පස් සිහිනය මෙන්ම නිවැරදිව ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද යන්නත් තම සෙවනේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පෙන්වා දිය යුතුමය. මන්ද සියලු දෙනාම කැම්පස් යන්නේ නැත.

මා අදහන ලෙසට ටියුෂන් යනු කලාවකි. නමුදු දැන් ටියුෂන් යනු වෙළඳාමකී. ඇත්තේ නොනවතින තරඟයක් සහිත ප්‍රමිතියෙන් තොර ටියුෂන් කඩ සාප්පුය. ගුරුවරු ගෝලයෝ අඳුරන්නේ නැත. ඇතැමෙකු එක මේසයට වාඩි වී ෂොට් එකට සෙට් වෙති. ඇතැමෙකු තම සිසුවියන් දෙස බලන්නේද කෑදර ලෙසිනි. එබැවින් තම දරුවා ඉගෙන ගැනීමට යන්නේ ඉගැන්වීමට සුදුස්සෙකු ළඟට දැයි සොයා බැලීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර ගුරුවරයෙකු ලඟට මිස ගුරු සෙවලයෙකුට ලඟට නොයෑමට දූ දරුවන් වග බලා ගත යුතුය. මන්ද පිබිදෙන්නට වෙර දරන මල් කැකුළු ඊටත් පෙර පරව ගිය අවස්ථා ටියුෂන් පුරවරයන්ගේ නැතිවාම නොවේ.

ඉතින් මේ දැල්වෙන්නේ අඳුරු අනාගතයක රතු එළියක් නොවන බව කාට නම් කිව හැකිද? 

දිල්නි නිමාෂා 
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර 


අධ්‍යාපනය හා තාරුණ්‍යය 

රටක දියුණුව, එරට අනාගතය තීරණය කරනු ලබන්නේ ඒ රටේ තාරුණ්‍යයයි. තාරුණ්‍යය යනු, රටක සක්‍රීය වර්තමානය මෙන්ම ශක්තිමත් අනාගතයයි. රටක තාරුණ්‍යය පුළුල් දැනුමකින්, උසස් බුද්ධියකින් පරිපුර්ණ වී නම් ඒ රට සුභවාදී අනාගතයකට, අනාගත සංවර්ධනයකට සක්‍රීය ලෙස දායක කර ගත හැකි වන්නේය. නමුත් වර්තමාන තාරුණ්‍යය "අධ්‍යාපනය" නම් වු මුලික මෙන්ම අත්‍යවශ්‍ය අවශ්‍යතාව සපුරා ගැනුමට මැලි කමක් දැක්වීම අද සමස්ත රටම මුහුණ පා ඇති විශාල ඛේදවාචකයකි. 

වසර දහ තුනක අනිවාර්ය අඛණ්ඩ පාසල් අධ්‍යාපනය මගහැර ළමා ශ්‍රමිකයන් ලෙස ශ්‍රම බලකායට එක්වන සුළුතරය තම ජීවිතයම ආලෝකයෙන් අඳුරට හෙලනු ලබන්නේ අධ්‍යාපනය නම් වූ ආලෝකමත් පහන තමා විසින්ම නිවා දමමිනි. මේ ලෙස අධ්‍යාපනය මග හැර යාමට ප්‍රබල ලෙස බලපානු ලබන්නේ දිලිඳුතාවය හා නොදැනුවත්බවය.
දිළිඳුතාවය නිසාවෙන් තම වර්තමාන අධ්‍යාපනය කැපකර රැකියාවක් කරන්නට යොමු වන තාරුණ්‍යය තම අනාගතය විනාශ කර ගනු ලබන්නේ තම තමාටම සාප කරගනිමිනි. අසරණබව, දිළිඳුබව මුලික කරගෙන ඒ සියල්ලටම එකම විසඳුම ගමෙන් නගරයට පැමිණ රැකියාවක නිරත වීම යැයි සිතන නූගත් තාරුණ්‍යය තම දියුණුව යයි සිතා තම පරිහානිය කරා ලඟා වෙන්නේ හරිහමන් අධ්‍යාපනයක් නොමැති වීමේ ප්‍රතිවිපාක හේතුකොටගෙනය.

පහත පද සංකල්පනාව තුලින් වර්තමාන තාරුණ්‍යය කැප කොට ගමෙන් නගරයට පැමිණ මුහුණ දෙන එක්තරා සුලභ ඛේදවාචකයක් ගම්‍යමාන කරනු ලබයි.

යන්තරයෙන් මන්තරයක් වගේ වියන 
සළු පිළි මද ගෙවන ජීවිතේ 
බඩේ ගින්දර හින්දයි හිතේ ගින්දරේ 
සඟවන් ඉන්නේ නංගියේ 

හදිසියට මන් ගිය මටම වැරදුනා 
හැරිලා එන්න බැරි තරමට අතරමන් වුනා 
ඒ හින්ද මන් පසුපස එන්න එපා නුඹත් නංගියේ 
කියන තරම් සුන්දර නැහැ කොළොඹ ජීවිතේ 

රාස්සයින් දැල් දමාවි අල්ල ගන්න සොඳුරු ජීවිතේ 
අඳුරු කරලා එකපාරට පැනල යාවි ඔවුන් හිතුමතේ 
දහස් ගණන් මිනිසුන් ඇති කොළොඹ නගරයේ 
කියාගන්න බැරි දුකකින් කදුළු සිනහවෙන් සඟවන් 
ආයේ එන්න බැරුවයි මං ඉන්නේ නංගියේ 

ඒ එක ඛේදවාචයකි. එනමුත් ඒ සියල්ලටම එක විසඳුමක් නිශ්චිතවම ඇත. ඒ සාර්ථක අධ්‍යාපනයයි. ඒ පරිපුර්ණ අධ්‍යාපනය, මානව සංවර්ධනයේ හිණි පෙත්තටම අපව රැගෙන යන අත්වැල නිසාවෙනි.
අධිෂ්ඨානය, කැපවීම ප්‍රමාණාත්මකව  ඇති නම්, එම සාධක දෙක හොදටම ප්‍රමාණාත්මක වේවි, සාධනීය අධ්‍යාපනයකට.....

ආදරණීය තාරුණ්‍යය ඉගෙන ගන්න, රටට වැඩක් කරන්න පුළුවන් වෙන තරමට, බිහි වේවි එමගින් උගත්, බුද්ධිමත් මතු පරපුරක්.....

පසුතැවීම, ප්‍රමාදය පමණක්ම ජීවිතයට එක් වන්නට ඉඩ නොදී දිරිය, ජය තාරුණ්‍යයට එක් කරගන්න...

වේවි වැඩක් මටත්, ඔබටත්, රටටත්..... අදත් හෙටත්.....!

කේ. ඒ. ඩිල්ෂාන් ගුණතිලක 
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

   

Comments

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19