Only Genuine Smile saw in this World

ලොව දුටු එකම අව්‍යාජ සිනහව

අද අපේ ආටිකල් එක යොමු වෙන්නේ වෙනමම පැත්තකට. ලෝකයේ වැඩි අවධානයක් යොමු වෙන්න අවශ්‍ය කරන, ගරු කිරීමක් අවශ්‍ය කරන ආදරණීය කොටසක් තමයි අද අපේ ආටිකල් එකේ පදනම වෙන්නේ. ඒක ලියවෙන්නේ හේෂාණි අතින්. ඇගේ අදහස වෙන්නේ අපි තවදුරටත් ඔවුන්ව සමාජයේ කොන් කරලා තියන්න අවශ්‍ය නෑ ඔවුන් අපි වගේම සමහරවිට අපිටත් වඩා දක්ෂයි කියන එක. ඔබේ අදහස මොකක්ද Down Syndrome කියන රෝගයෙන් පෙලෙන මේ ආදරණීය මිනිසුන් ගැන? අපි වගේම සමාජයේ පිළිගැනීමක් ලබන්න ඔවුන්ට අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා නේද? මෙතැන් ඉදලා එකතු වෙන්න හේෂාණිගේ අදහස් එක්ක. හිතට තට්ටු කරලා අහලා බලන්න ඔයාගේ හිතේ එයාලා ගැන මෙච්චරකල් තිබ්බෙත් මේ වගේ අදහසක්ද කියලා...

මෑත කාලීනව එක්තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ, රියැලිටි වැඩසටහනක, කාගේත් දෙසවන් සහ දෙනෙත් පිනවූ විචිත්‍රවත් අංගයක් මාගේ කුළුඳුල් ලිපියේ කතා වස්තුව කරගන්නට සිතුවෙමි. එම වැඩසටහන තුල ඉදිරිපත් කළ අංගයක මුලසුන හොබවූ ගුරු මූලික, පැවසූ ප්‍රකාරව ඔවුන්ව අද පටන් " විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස නොව විශේෂ දක්ෂතා ඇති දරුවන්" ලෙස හඳුන්වමු යැයි, ප්‍රේක්ෂක දනන් වෙත අපුර්වත ඇරයුමක් කරන ලදී.
ඔබ අප හැම ජීවත් වන සමාජයේ මිනිසුන් ඔවුන්ව සමච්චලයට ලක් කරමින් හංවඩු ගසමින් "මන්ද බුද්ධිකයා" යනුවෙන් නඟන අපහාස වදන් කෙතරම් එම සියුමැලි හදවත් පසාරු කරනවා ඇත්ද?

මෙම ලිපිය ලිවිමෙහිලා මා පෙලඹවූ හේතු සාධකය මාගේ එකම සොයුරාත්, "විශේෂ දක්ෂතා ඇති දරුවන්" ලෙස මත්තට හැඳින්වීමට යෝජනා වූ ජන කොටසට අයත් වීම පමණක් නොවේ. සමස්ථ සමාජය එකිනෙකාට සංවේදී, ගුණවත් මිනිසුන් පිරි සමාජයක් වනු දැකීම මා අදිටන වන බැවින්ද, මාධ්‍ය විෂයක යෙදෙන්නෙකු අතිශයෙන්ම සමාජය අවධි කරන්නෙකු විය යුතු බවද මා විශ්වාස කරන නිසාවෙනි. සමාජයේ අසාධාරණයන්ට ලක්වන, වැඩි දෙනාගේ අවධානයට ලක් නොවෙන පැතිකඩයන් විවර කරනු වස් මාගේ පළමු ලිපිය මෙවලමක් වනු දැකීම කැමැත්තෙමි. එය මාධ්‍යකරණයේ යෙදෙන්නෙකුගේ පරම වගකීමක් හා යුතුකමක් ලෙස සලකමි.
පින්න මතින් නැගෙන හිරු කිරණින් ආරම්භ වන දිනයක හිමිදිරියේ සිට, මළ හිරු බැස යන හෝරාව දක්වා අපට දහස් සංඛ්‍යාත පිරිසක් මුණ ගැසෙයි එහෙත් ඒ අතුරින් කී දෙනෙක් දුටු පමණින් සුන්දර සිනහවකින් සංග්‍රහ කරත්ද? තිත්ත යථාර්තය නම්, පුහු මාන්නයෙන් ඔලුව ඉදිමුන මිනිස් වර්ගයා, තමන්ට නොමිලේ ලබාදිය හැකි සිනහව වුවද නොපාමින් හෝ ඊට මැළි වී මඟ හරමින් තමන් විසින් මවා ගත් කාර්යබහුල ලෝකයන් තුල අතරමන් වෙති. ඒ අතුරින් මා දුටු සුන්දරතම, අව්‍යාජ සිනහව දුටුවේ ලිපියට වස්තු බීජය වූ පිරිසකගේ මුහුණින්ම පමණි. සිනහව මත සැඟවූ වෛරීය චේතනා කිසිවක් නොමැති ලාභ, ප්‍රයෝජන නොතකා පාන එම අව්‍යාජ සිනහවට අප සැමගේ අනුකම්පා දෑස් නිතියෙන් යොමු විය යුතුය.
ඉංග්‍රීසි බසින් සමාජගත වන "They are not disable, They are differently able" යන සුප්‍රසිද්ධ කියමන ජීවමාන කරනු වස් ඔබ අප කිසිවෙකු දැරිය නොහැකි තරම් ආයාසයක් ගත යුතු නොවේ. එම අහිංසක ජීවිත දෙස වපර ඇසින් බැලීම නවතා ඔවුන්වද අප මෙන් සමාජය තුළ සම තැන ලබා දිය යුතු වේ.

මා විශ්වාස කරන දහමට අනුව මිනිසා දෙවියන් වහන්සේගේ අසමසම මැවිල්ලකි. මෙම කථා වස්තුවට මුල් පිරූ දරුවන් දෙවියන්ගේ අත් වැරදීමකින් මවා වදාලක් මෙන් ඔබ සිතුවද එය කිසිසේත්ම එසේ නොවන අතර ඔවුන්ද එම අසමසම මැවිල්ලෙහිම කොටසක් වේ. එමෙන්ම ඔවුන් සුවිශේෂී ලෙස දෙවිඳුන්ගේ මහඟු ආදරයට නතු වන බව අවධාරණය කිරීමටද කැමැත්තෙමි.
නූතන කෘර සමාජය තුළ බැටළු හම පොරවා ගත් සිංහයන් බඳු මිනිසුන් සමඟ සටන් කිරීමට, පොර බැදීමට තරම් දියුණු මනසක් ඔවුන් සතු නොවුනත්, සැමට ආදරයෙන් බැඳෙන, සංවේදී, අවංක හදවත් ඇති පිරිසක් බව නිසැකවම මා තහවුරු කරන්නේ දෛනිකව මා ලද අත්දැකීමෙනි.

දුටු විටදී එවන් අව්‍යාජ සිනහවන්, ප්‍රතිචාර වශයෙන් ඔබේ සංවේදී හදවත් විවර කර, ඔවුන්ව මඟ නොහැර වචනයකින් හෝ සිනහවකින් සංග්‍රහ කර, අවධානයට ලක් නොවන ඔවුන්ගේ හැකියා අගය කරමින් දිරි ගන්වන්නෙකු වන්න මුල පුරන්න. තිමිර පට ඉරා කඩතුරා හැර දමා, ලොවක් ජය ගන්නට වෙර දරන සියුමැලි හදවත්වලට හඬක් වෙමින් සහය වන මා මෙන් ඔබද, ඔබේ හදවතේ ඔවුන් වෙනුවෙන් ආදරයේ , කරුණාවේ බීජයක් රෝපණය කරන්න.
දිනක දළුලා වැඩෙන විට, මනු ගුණදම් මකරන්දෙන් ලොවම සැනසෙන නැහැවෙන බව ඒකාන්තය. රැල්ලට ගසාගෙන යන නූතන සමාජය අවධි කරන හඬක් වනු වස් හේශාරාවය මෙසේ තිලිණ කරමි.

ඩී.අයි. හේෂාණි වීරසිංහ 
කළමනාකරණ හා මුල්‍ය පීඨය 
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19