What is your Enjoyment?

ඔබ ගේ රසවින්දනය කුමක් ද?

ගීතයක් කියන්නේ මොකක්ද? ඒක නිකන්ම නිකන් පද කීපයක එකතුවක් විතරද? කාගේ හරි ලස්සන පද වැලකට ලස්සන සංගීතයක් එකතු වෙන එකද ගීතය කියන්නේ? අපි හැමෝටම ඒකට හරිම නිර්වචනයක් දෙන්න අමාරු වේවි. ඔබත් මමත් මේ ලෝකයට බිහිවෙද්දි කලාව කියන දේ යම් තාක් දුරට අපේ ඇඟට බද්ධ වෙලයි අපි බිහිවෙන්නේ. ඉතින් ඒ කලාව සංගීතය, නර්තනය, චිත්‍ර කලාව, මුර්ති කලාව වගේ අතු ගොඩක එකතුවක්. එතනින් සංගීතය කියන මාතෘකාව අපි හැමෝටම එක වගේ සමීප දෙයක්. අපේ ජීවිත වල වෙච්ච හැල හැප්පීම්, සතුටු වෙච්ච තැන්, දුක් වෙච්ච තැන් මේ හැම එකක්ම පිටිපස්සේ අපි ආදරය කරන ගීතයක පද පේලියක් අනිවාර්යයෙන්ම ඇතුලත්. ඉතින් ඒ ගීතය ගැන පොඩි විචාරයක් සරලවම කිව්වොත් පොඩි කතන්දරයක් අද සචින් අපිට ලියලා දුන්නා. මේ ආටිකල් එක ඉවර වෙද්දී ඔබට නොදැනුවත්වම ගීතයක පද පේලියක් අනිවාර්යයෙන්ම කියවේවි. ඒක තමයි ඔබෙත් මගෙත් ගීතයේත් ආදරණීය වූ බැඳීම..
මා සාමාන්‍ය පෙලට හෝ උසස් පෙලට සංගීත විෂය හදාරා නැත. එසේම සංගීතය පිළිබද විශාල දැනුමක් මා සතුව නැත. නමුත් ගීත රසවිදින්නකු වශයෙන් මෙම ලිපිය සම්පාදනය කරන අතර පැරණි ගීත හොද යැයි ද නව ගීත නරක යැයි කියන්නේද නැත. ගීතයකින් මා බලාපොරොත්තු වන රසය පමණක් දක්වමි. ශ්‍රී ලංකාවේ ගීත කලාව පිළිබද සලකාබලන කල දැකිය හැකි කරුණක් වන්නේ එම කලාව විවිධ රට වල ගීත කලාවන්ගෙන් පෝෂණය වුවක් බවයි. නමුත් ඒ තුල යම් කිසි අපේ ගතියක් අපට ආවේනික ගතියක් ගැබ් ව පවතින බව දැක්වුවොත් එය වැරදි නොවන බව මා විශ්වාස කරමි. මා ගීතයක ශබ්ද රසය මෙන්ම අර්ථ රසය ද බලාපොරොත්තු වෙමි. එය කෙසේ ද යන්න මා හැකි අයුරින් දක්වමි.

මා අසා ඇති ආකාරයට සංගීතය තුල පුද්ගලයන්ගේ විවිධ භාවයන් නිරුපනය කිරීමට හැකි ආකාරයේ විවිද රාග ඇත. ප්‍රේමය,විරහව,තරහව,කරුණාව වැනි විවිධ සිතුවිලි නියෝජනය කරන විවිද සංගීත ඛන්ඩ ඇත. මේ සදහා වචන අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස මම යම් අවස්ථා තුනක් දක්වන්නම්.

          1. යුවතියක් වතුර කළයක් රැගෙන පැමිණෙයි, ඇය පැමිණෙන්නේ සිය මව ඇවිටිලි කර බැන වැදී වතුර ගෙන්න යැයි කීමෙන් පසු ඒ පිළිබද යම් තරහක් සිතේ තබාගෙනයි.
          2. යුවතියක් වතුර කළයක් රැගෙන පැමිණෙයි, ඇය පැමිණෙන්නේ තමාට දිය මංකඩ අසලදී විහිලු කල තම සිතේ යම් ආලයක් ඇති තරුණයා පිළිබද සිතමිනි.
           3. යුවතියක් වතුර කළයක් රැගෙන පැමිණෙයි, ඇය පැමිණෙන්නේ තමා ට අලුත හමු වූ දරු පැටවා ගැන සිතමිනි.

ඔබම සිතන්න මේ අවස්ථා තුනට පසුබිම් වාදනයක් යොදන්නේ නම් එකම ආකාරයක සංගීතයක් ගැලපෙන්නේ ද? මේ සදහා අවශ්‍ය වෙනම සංගීත ඛණ්ඩ යැයි මා විස්වාස කරමි ඔබත් එකඟ වේ යයි සිතමි. මා රස විදින ගීතයන් තුලින් මෙම තත්වය දැක්වීමට මා උදාහරණ කීපයක් දැක්වීමට කැමැත්තෙමි.

ගුණදාස කපුගේ මහතා ගයන "දවසක් පැල නැති හේනේ" ගීතය මවකගේ කරුණාව සහ එම කරුණාව නිසා විද දරාගන්නා දුක්ක දෝමනස්සයන් සංගීතයෙන් පිළිබිබු කරන ආකාරය. මාලනී බුලත්සිංහ මහත්මිය ගයන "පිපෙනා මලකට" ගීතය හදවතේ බුදුහිමි හට ඇති ශ්‍රද්ධාව සංගීතයෙන් පිළිබිබු කරන ආකාරය. එම්. එස්. ප්රනාන්දු මහතාගේ "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි " ගීතය තරුණියකගේ ඇති මාන්නය, පිරිමි පුද්ගලයා අන්දමන්ද කර පසුව ගණන් නොගෙන සිටින බව සංගීතයෙන් පිළිබිබු කරන ආකාරය, අමරසිරි පිරිස් මහත්මයා ගයන "මලක් උනේ ඇයි නුබ මට" ගීතය පිරිමි පුද්ගලයා හට එම කාන්තාව කෙතරම් ලගද සහන ඇය තමාගේ කරගැනීමට ඔහුට කොය් තරම් උවමනා ද එහෙත් එය කල නොහැක්කක් බව සංගීතයෙන් කොතරම් සදරනව නිර්මාණය කරන්නේද, දයාන් විතාරණ මහතා ගයන "වැටෙන් එහා මල් පදුරේ" ගීතයෙන් කාන්තාව අන්සතු නිසා ලංකර ගැනීමට නොහැකි බව දක්වන අතර පෙර කි "මලක් උනේ ඇයි නුබ මට"ගීතයේ තරම් එම කාන්තාව ලග නැති බව පෙනෙන්නේ ද?
එඩ්වඩ් ජයකොඩි මහතා සහ නන්දා පතිරණ මහත්මිය ගයන "බකිනි මලේ බකිනි ගසෙන් පාර අසන්නේ" ගීතයේ පෙම්වතිය සිය නිවසට පැමිණෙන්න සිය දෙමව්පියන් හමු වන්න යන ආරාධනාව කල විට පිරිමි පුද්ගලයා ගේ මනසේ ඇතිවන කැලබිලි ස්වභාවය සංගීතයෙන් නිර්මාණය කරන ආකාරය. මෙවැනි සිදුවීම් සංගීතයෙන් නිර්මාණය කරන ආකාරය ඔබ අත්විද තිබේද? ටී.එම්.ජයරත්න මහතා ගයන "සොදුරු අතීතයේ" ගීතයෙන් පෙම් යුවලක් බාධක ජයගෙන සිය ප්‍රේමය තමාගේ ම කරගන්නා ආකාරය සංගීතයෙන් පිලිබිබු කරන ආකාරය එම වයලීනය කෙතරම් අපුරුවට ඒ සදහා යොදාගන්නවා ද යන්න, මෙවැනි දෑ මා ගීතයකින් රසවිදිමි ඔබත් එසේ රස විදිනවාද?

දැන් මා ගීතයක සොයනා අර්ථ රසය හැකි අයුරින් දැක්වීමට උත්සහ කරන්නම්.]
ගුණදාස කපුගේ මහතා ගයන "දවසක් පැල නැති හේනේ" ගීතය සලකා බලමු. පැල නැති හේන යනු පියා මියගිය මව පමණක් සිටින පවුලකි. අකාල මහා වැසි වැටුනා යන්නෙන් දක්වන්නේ තොරක් නැතිව මුහුණ පෑමට සිදුවූ දුක් කම්කටොලු ය. තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ යන්නෙන් දක්වන්නේ මව සියලු දුක් උසුලාගෙන ඒවා දරුවාට නොදැනෙන්න පිරිමසා ගත ආකාරයයි. ඔබට ඔබේ මව ඔබ වෙනුවෙන් කල කැප කිරීම් මතක් වන්නේ නොවේද? විශ්වවිද්යාලයට ඔබට ඒමට අගනා ඇදුම් අරන් දෙන ඇය පරණ ඇදුම් පිරිමසගන්නේ නැද්ද? එවැනි අවස්ථා ඔබේ ජිවිතයේ තිබිය හැක. මෙම ගීතය ජීවිතය ට රසවින්දනයක් නොදෙන්නේ ද?

          “නුවර වීදි යටකරගෙන 
          නින්දා වැහි වැගිරුණු දා 
          බිරිදකගේ සෙනෙහෙ ගියා 
          යෝධ ඇලේ නැම්මේ"

මෙහි අදහස ලෙස දැක්විය හැක්කේ ස්වාමිපුරුෂයා හට අපහසු කාලයකදී බිරිදගේ සෙනෙහස වැවේ වතුර මතුපිටින් නොපෙනී අඩුවෙන්නා සේ අඩුවන බවයි. මෙම වචන දහසක් දේ පවසන්නේ නොවේද?

අමරදේව මහතා ගයන "සන්නාලියනේ " ගීතයෙන් පුද්ගලයෙක් සිය ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී සිය දියණිය වෙනුවෙන් කරන කැපකිරීම් සමුදායක් පෙන්වන්නේ නොවේද? එම ගීතය පරිකල්පන බුද්ධිය මෙන්ම රසය උද්ධීපනය නොකරන්නේද?

ගුණදාස කපුගේ මහතාගේ "සිතල සද එළියේ, පිපුණු සුවද මලේ, නෑබුල් සුවය පතු බඹරෝ නුබ නාඩන්"යන පද වැල් වලින් විවාහයෙන් පසු සිය බිරිදගේ නැබුල් සුවය නොලද පුරුෂයෙක් පිළිබද දක්වන බව මට දැනෙන ආකාරයයි. එහිදී ද කෙලින් ම යමක් කියනවා ට වඩා අසන්නාගේ බුද්ධියට ඉඩ දී ඇත.
අතුල සමිතා යුගලය ගයන "සදපානක් සේ ඇවිදින්" ගීතයේ පෙම් යුවලක් විවාහයෙන් පසු නගරයේ සිටිනවා ද ගමට යනවා ද යන්න තීරණය කරගන්න අකාරය, ආදරයෙන් රන්ඩු  වන ආකාරය දක්වන්නේ නොවේද?

වික්ටර් රත්නායක මහතා ගයන "සිහිල් සුලන් රැල්ලේ" ගීතයෙන් හිරිමල් යෞවනයේ ආදරය සිතකට දැනෙන ආකාරය දක්වන ආකාරය විඳ තිබේද? එහි එය හිරිමල් යොවුන් වියේ ආදරයක් යන්න පැවසිය  හැක්කේ "හදවත දළු සෙලවේ"යන වදන් පෙලිනි. දළු යනු මෝරන්න පෙර කොළ මෙන් හිරිමල් යොවුන් විය එමගින් පිලිබිඹු කරයි.

සුනිල් එදිරිසිංහ මහතා ගයන "සියුමැලිද මේ තරම් කළුගල් හිතන්නට වත් බැරි නිසා"ගීතය කිසි විටෙක බුදු රජාණන් වාහන්සේ පිළිබද නොදක්වන අතර කළාකරුවා ගේ නිහතමානිත්වය පිලිබිඹු කරයි. එහි "ඉසුරුමුණියේ නුබ තැනු පෙම්බරිය කොතනද කියා, මා ඇසු විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා"  මේ වදන් මගින් කළාකරුවා අන් අයට රසාස්වාදය සපයා තමා නිහතමානීව බලා සිටින ආකාරය දක්වයි.

නන්දා මාලනී මහත්මියගේ "රන්කෙන්දෙන් බැඳ අතගිලි එක කර" ගීතයෙන් දක්වන පරිදි සිය ස්වාමියා සිටියදී වෙනත් පුරුෂයකුට ආදරය කල තරුණියක් කව්රුන් තොරගන්නේද යන්න ප්‍රශ්නයකට පැටලී සිටින ආකාරය දක්වයි. "ඔබගේන්දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ යන්න ඒ ප්‍රශ්නයයි". මෙහි තරුණිය හට දෙපාර්ශවයෙන්ම සැලකිලි ලැබෙන බව දක්වයි. "හිරු සදු එකවර දෙපස නැගේ" යන්නෙන් එය දක්වන අතර නමුත් හිතේ සැනසිල්ලක් නැත. "කළුවර ඇයි විජිතයම මගේ" යන්නෙන් එය දක්වයි. ය ප්‍රේම කරන්නේ කසාද ස්වාමිපුරුෂයා හට නොවන බව "පෙම් රැහැනින් බැදී සිතුම් වසඟ කල ආදරයයි"යන්නෙන් පැහැදිලි වේ.
මේ ආකාරයෙන් මා දක්වන ලද්දේ මා ගීතයක බලාපොරෝත්තු වන රසයයි. ඔබේ රසය කුමක් ද? එය කුමක් විය යුතුද? තීරණය කල යුත්තේ ඔබයි. කිසි විටෙක කිසි ගීතයකට ගැරහීමට නොහැක. අසන්නා එය තීරණය කල යුතුය යන්න මාගේ මතයයි.

සචීන් රශ්මික මෙන්ඩිස් 
කළමනාකරණ හා මුල්‍ය පීඨය 
දෙවන වසර

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...



Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19