Every Dark Cloud has a Silver Lining..

ජීවිතේ අපි හැමෝම කාගේ හරි හිතේ වැරදිකාරයො වෙලා ඇති. ඒ අයගෙන් හිතින් හරි දොස් අහලා ඇති. ඉතින් සමාජයේ වැරදිකාරයො විදියට හංවඩු ගහපු සමහර අහිංසක ජීවිත අද වෙද්දී  සිපිරි ගෙය එයාලගේ ගෙදර කරගෙන ඉවරයි. ඒත් ඇත්තටම ඒ ජීවිත වැරදිකරයෝද? අපි ඒ තරම් ලේසියෙන් ඔවුන්ව ඒ මට්ටමට දැම්මේ කොහොමද? මේ ප්‍රශ්න සේරටම උත්තර දෙන්න අද හේෂානි සූදානම්. හැම මනුස්සයෙක්ම වැරදිකාරයෙක් වෙන්න අපෙත් යම් කිසි හෝ බලපෑමක් තියෙනවා කියන දේ තේරුණාම ඔබටත් තේරෙයි අපේ සමාජයේ කොතන හරි වරදක් වෙලා තියෙනවා නේද කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක. හිතට එකඟව අපිට පුළුවන් වුනොතින් හිතන විදිය වෙනස් කරගෙන අලුත් ඇහැකින් ලෝකය දකින්න මං හිතනවා ගොඩක් අහිංසක ජීවිත සිපිරි ගෙයි ඇතුලේ හිර වෙන්නේ නැති වේවි කියලා. 
සෑම කළු වලාවකම ඇති රිදී රේඛාව

පෘතුවි තලය තුල ජීවය ලබා සිටින ඕනෑම කෙනෙක්, අනුන් විනිශ්වය කිරීමට පෙළඹෙන්නේ නිතැතින්මය. එය අවිවාදයෙන් යුතුව පිළිගතයුතු කරුණකි. අප එදිනෙදා දකින ඕනෑම සංසිද්ධියක් අප දකිනා පැතිකඩෙන් පමණක් බලා, ආවේණික වූ කෝණයකින් එය සාධාරනීයකරනය කරමින් තාර්කිකව තීරණයන්ට විනිශ්චයන්ට එළඹෙන අපුර්වත්වය ඇගයීමට ලක් කල යුතු යුතුය. එහෙත් පෙනෙන පැතිකඩ ඉක්මවා චින්තනය දියුණු කරමින් පරිකල්පන ශක්තිය යෙදවීමට උත්සුක වන්නන් ලොවට අවැසි නිසාවෙන් විටෙක එම අපුර්වත්වය පිළිකුලෙන් දකින්නන් අතරට මාද අයත් වන්නේ, ලොව විනිශ්වය කිරීමේ හැකියාව මිනිසා සතු නොවන දෙවියන්වහන්සේ හට පමණක් හිමි බලපරාක්‍රමයක්  බවම හොදින්ම දන්නා නිසාවෙනි.

නීතිය හැමවිටම යුක්තිය ඉටු නොකරන නිසාවෙන් අතීතයට වැළලී ගිය බොහෝ සිද්ධීන් තුල නිර්දෝෂී පුද්ගලයන් වැරදිකරුවන් බවට පත් වූ අවස්ථා තිබිය හැක. එහෙත් සිර දඩුවම් විදින වැරදිකරුවන් තුල වුවද ඔහුගේ / ඇයගේ සීමාව තුල සාධාරනීයකරනය කල හැකි යමක් තිබෙන බව නොඅනුමානය. මෙම ලිපියට "සෑම කළු වලාවකම ඇති රිදී රේඛාව" යනුවෙන් පාදක වනේ එනිසාවෙනි.
වැලිකඩ සිර බන්ධනාගාරය පසු කර යන සැමට පිටත තාප්පයේ ඇති, නෙත ගැටෙන පාඨයක් උපුටා ගැනීමට කැමැත්තෙමි. "සිරකරුවොත් මනුෂ්‍යයෝය" නමැති වැකිය කලකට පෙරදී තාප්පයේ ලියවුනද, මානව හිමිකම් සදහා ප්‍රඥප්ති ගොඩ නැගෙන, ඒ සදහා වැඩි අවදානය යොමු වන අවදියක, කාලයට උචිත බව මට හැඟෙයි .

දිනෙක යම් නිමේෂයක සිදු වූ වැරද්දක් නිසා, බන්ධනාගාරය තුල සිර දඩුවම් විඳින පුද්ගලයන්ගේ වුවද එම තත්වයට පත් වීමට හේතු සාධකය, එම පුද්ගලයා සතු පුද්ගල දුර්වලතාවයක් හෝ ආකල්පමය බෙලහිනතාවයක් පමණක්ම බව එක එල්ලේ නිගමනය කරමින් හංවඩු ගසන සමාජයකට දැක්ම වෙනත් මාවතකට යොමු කිරීමට කැමැත්තෙමි. ඔවුන්ව එම තත්වයට පත් වීමටද, අද ඔවුන් ගෙවන අඳුරු දිවි පෙවතට වග කිව යුත්තොද සමස්ත සමාජ ක්‍රමය බව මට හැඟේ. සමාජය නමැති ඒකකයට අයත් අපද එහි වගකිවයුත්තො වෙමු.

මෑත කාලීනව සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක් වූ "හිතුමතේ ජීවිතේ" නමැති චරිතය වසර ගණනාවක් සිර දඩුවම් ලැබූ, සමාජය විසින් මිනිමරුවෙක් ලෙස හංවඩු ගැසූ පුද්ගලයෙකි. එහෙත් එම අඳුරු පැතිකඩට එහා ගිය පෙර සඳහන් කල අයුරින් කළු වලාව තුල ඇති රිදී රේඛාව ගැන විමසුවොත් ඔහු තම එකම නැගණිය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ වීර සහෝදරයෙකි.
මෙම ලිපිය හරහා සිරකරුවන්, වංචාකරුවන් සහ නීති විරෝධී කටයුතු කරන සියල්ලන් සුදුවරයට එසවීම මගේ හුදු බලාපොරොත්තුව නොවන බවද තරයේ අවධාරණය කිරමට කැමැත්තෙමි. එම චරිතය අඳුරු අගාධයට ඇද දැමුවේද සමාජය විසින්මයි. ඔහු යුක්තිය ඉටු නොවූ තම නැගණිය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ගත ප්‍රයත්නය නීත්‍යනුකුල, අනුමත කල නොහැකි එකක් වුවද ඔහුගේ ජීවිතය තුල ම අගය කිරීමට කැමැත්ත දැක්වූ වීරත්වය, නිර්භීතකම, සහෝදර ආලය කිසිවකුට සමාන කල නොහැකිය.

ලෝකයට සොරෙකු බිහිවන්නේ ජීව විද්‍යාත්මක උපතකින් හෝ ජානමය විකෘතියකින් නොවේ. විටෙක සමාජ ක්‍රමය නිසා අසාධාරණයට ලක්වූ ජීවිත සංසිද්ධියක් හෝ සීඝ්‍රයෙන් මඩිය තර කර ගැනීමට උත්සහ කරන, ආත්මාර්ථකාමී මින්සුන් පතුරුවන මත් රකුසාගේ වසංගතයට ඇබ්බැහිවූ ජීවිතයක ප්‍රථිපලයක් හෝ විධිමත් අධ්‍යාපනයක් ඇති කර ගැනීමට අපොහොසත් වූ දිළිඳුකම හෝ තවමත් සංසිදුවා ගැනීමට නොහැකි වූ අසීමිත ආශාවන් සඳහා වන පිපාසය විය හැක. සොරාගන්නා දෙය තුල, හිමිකරුට වන අලාභය නිසාවෙන්, ඔහු නිසැකවම "සොරෙකු" පමණි. මෙය සාධාරණීයකරණය කිරීමට සමාජය  කිසි විටෙකත් උත්සහ නොගනී.

නමුදු අප කලයුත්තේ හෙට දින භාර ගැනීමට සැරසෙන දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. තවකෙකු වරදට පොළඹවන පවට හවුල් වී, අත සෝදගන්න පිලාතු කෙනෙක් නොවී පරිහානියට යන සමාජය ගොඩ නැගීමට දායක වීමයි.
විශේෂයෙන්ම ඉන්දියාව වැනි ස්ත්‍රී දුෂණ, ළමා අපචාර අධික, අසල්වැසි රටක වෙසෙන ශ්‍රී ලාංකික අප ද, ධර්මද්වීපයක් ලෙස හඳුන්වන ලක් පොලවේ වත්මන් සමාජ ක්‍රමය හරහා අසැබි වූ මනස නිසාවෙන් එවන් වූ තත්වයකට පත් වේවි දැයි අවිනිශ්චිතභාවයක පසු වෙයි. එය එසේ නොවේවා යයි අපගේ පැතුම වුවද, ඊට අවශ්‍ය පියවර නොගෙන පැතුම් පමණක් පතමින් අසල්වැසි රටට චෝදනා කිරීම නිෂ්ඵල දෙයකි. අපද කෙනෙකුගේ හැගීම් අවුස්සන හැසිරීම් සහ ඇදුම් පැළදුම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. තවද සියදිවි හානි කරගන්නන්ගේ වැඩිම ප්‍රතිශතයක් සංඛ්‍යා ලේඛණ අනුව තහවුරු වී ඇති ශ්‍රී ලංකාව තුල එලෙස සියදිවි හනිකරගන්නන් මෝඩයන්, මානසික රෝගීන් යනුවෙන් හංවඩු ගසනවා වෙනුවට ඊට මුලික වූ පසුබිම ගවේෂණය කර, පුද්ගල පෞර්ශත්වය වර්ධනය කල යුතුය. මන්ද ඖෂධ ලබදියයුත්තේ රෝගයට නොව රෝග මූලයට නිසාවෙනි. මන්ද සිය දිවි හානි කරගන්නන් තුල වුවද, ඔවුන්ගේ සීමාව තුල වුවද සාධාරණීයකරණය කරගත හැකි, ලොවට විවර කල නොහැකි නොවිසදුන ප්‍රශ්න හෝ හුදු හැගීම් මමත්වය අඩංගු නිසාවෙනි.
නිල් අහසේ පාවෙන සුමුදු වලාවන් අඳුරු වීමට ඉඩ හැර, අනිසි ප්‍රයත්නයක් දරමින් එම වලාවන් වල ඇති රිදී රේඛාව සොයනවා වෙනුවට, මුළුමනින්ම රිදියෙන් හා රනින් ඔප නංවනු දිදුලන වලාවන් පිරු අහස ගැබක් නිර්මාණය කර සුන්දර මිනිසුන් පිරි මනු ගුණදම් මකරන්දයෙන් නැහැවෙන සමාජයක් ගොඩ නඟමු.

රැල්ලට ගසාගෙන යන නුතන සමාජය අවධි කරනු වස් හේෂාරාවයේ දෙවන දිගහැරුම මෙසේ තිලිණ කරමි.


හේෂානි වීරසිංහ
දෙවන වසර
කළමනාකරණ හා මුල්‍ය පීඨය.


අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19