Seeking for Reality

ජිවිතේ තරුණ අවධිය ගැන අපි කලින් ආටිකල් එකේ කතා කරපු නිසා, අද ආටිකල් එකෙන් අපි ජීවිතේ තරුණ අවධිය එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන "ජීවිත යතාර්ථය"  ගැන කතා කරන්න තීරණය කලා. වැඩි කතා නැතුවම අපි බලමූ අපේ ජීවිතය මුහුණදෙන  යතාර්ථය කොහොමද ඉසුරි නංගි විස්තර කරල තියෙන්නේ කියලා.
මව් කුසින් ඉපිද, මේ මිහිතලයේ පන නල හා මුසුව, ජීවන මන් යාත්‍රාවේ පියමන් තනන, මනුෂ්‍යයෝ අතරක් නොපෙනෙන ලුහුඩු මිරිගුවන් පසුපස ඇදෙමින් වෙහෙසට පත්ව සුසුම්ලති. කෙදිනකවත් තමන් දුවන්නේ කුමක් පසුපස දැයි නොදැනම එයට ආශා කරති, ලබා ගැනීමට අසීමාන්තික තරගයක යෙදෙති. එකා පසුපස ඇදෙති. එකෙක් පරයා එකෙක් නැගෙන්නට දෙපාරක් නොසිතති. එකිනෙකා හා ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් බැදෙති. තමා දෙසට යොමු වූ සිව් අතැගිලි දෙස නොබලාම අනෙකා වෙත ඇගිල්ල යොමු කරති. ඒ සියල්ලම සමගින් අවසන ජයම පතති.

එහෙත් ස්වාභාවය වන්නේ කෙනෙක් ජය ලබද්දී, කෙනෙක් පරාජයට පත් වීමයි. ඒ දෙස මදක් හෝ සුබවාදීව දකින්නට පුරුදු වූ තැනැත්තා එය එක සිතින් බාර ගනියි. එහෙත් එසේ නොවූ තැනැත්තා එය නොඉවසයි. නමුත් සෑම අවස්ථාවක් ම එලෙස නොවිසදෙයි. මන්ද අපි සියල්ලෝම සිත දමනය කරගත්තෝ නොවන හෙයිනි. එයම පලමු කොට ගෙන තමන්ටම ආවේණික වූ යහපත් යැයි සම්මත රාමුවකට තම දිවිය හැඩ ගස්වා ගැනීමට පෙළඹෙයි. එහෙත් එහි ඇත්තේ තම අභිමතය පරිදි ගොඩ නගාගත්, සම්මතයන් කිහිපයක් පමණි. එහි බොහෝවිට ඇත්තේ තම ආත්ම සන්තෘප්තිය සදහා ගොඩ නගා ගත් ආකල්පයන් වේ. ඇතැම් අවස්ථාවන් හීදී ඒවා පුද්ගලයන් අතර මතභේද පවා ඇති කිරීමට ප්‍රබල වෙයි. කෙසේවෙතත් අනෙකාට ගරු කරන්නා ඒ දෙස උපේක්ෂාවෙන් බලද්දී, එසේ නොවූ තැනැත්තා ගැටුම් ඇතිකර ගනියි.
විශ්වය නැමැති මේ විසල් සමාජය තුල මනු සත්වයෝ සමාජ සම්මතයන්ට යටත් වූ බැදීම් සමුදායකින් බැදේ. මව්පිය, දූදරු, යහලු මිත්‍ර, ස්වාමි භාර්යා, නැන්ද මාමා, ආච්චි සීයා, ගුරු සිසු, සේව්‍ය සේවක යනාදී වූ නේක බැදීම් සමුදායකි. එකී බැදීම් අතර දෝලනය වෙමින් පුද්ගලයා තම ක්‍රියාවන් උදෙසා ක්‍රියත්මක වෙයි. එහිදී බැදීම් අතර සමතුලිතතාව වැදගත් වන්නේ, එහි අසමතුලිතතාව ගැටලු උත්පාදනය කරන්නට කදිම මගක් සපයන නිසාවෙනි. කුමක් ඉන් අදහස් වේද යත්, බැදීම් නිසා ජීවිතය විඳින මිනිසුන්ට  වඩා ජීවිතය විඳවන මිනිසුන් සමාජයේ බහුල බවයි. බාහිර පුහු ආටෝපයෙන් වැසී පවතින, හුදු සාම්ප්‍රදායික රාමුවකට කොටු වූ සමාජයකින් එයට වැඩි දෙයක්ද බලාපොරොත්තු විය නොහැක. කෙනෙක් දෙස යොමන බැල්ම පවා නිසි ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි සමාජයක් තුල අත්‍යන්ත පුද්ගලයා කඩතුරාවකින් ආවරණය වී ඇත. කඩතුරාව කොතරම් ප්‍රබල වේද යත්, තම අනන්‍යතාව අනෙකා ඉදිරියේදී ව්‍යාජ මවාපෑමක් වන තරමටමය. කදිම නිදසුනක් ලෙස සමාජ ජාලාවන්හි බොහෝ අවධානයට ලක්වූ තමිල්නාඩු කුඩාදරැවා කුහරයක සිරවී ජීවිතය යැදීමේදී කෙතරම් පිරිසක් ඒ පිළිබඳව මුහුණු පොත හරහා තම දුක වේදනාව පල කලේද, එහෙත් එසේ මුඩුක්කු තුල ජීවිතය ගෙවා දමන වීදි දරුවා කෙරෙහි ඔබේ සිත එතරම් කම්පා කලේද සිතන්න. නිවසක සිට මියගිය සුනඛයා ගැන උපන් වචනවලට පෙරලුනු වේදනාව වීදි සුනඛයා කෙරෙහි නූපන්නේ මන්දැයි සිතන්න. ඒත් සමගම ඔබේ ජීවිතය කෙතරම් ව්‍යාජදැයි සිතන්න. ඔබේ කරුණාව දයාව මුහුණු පොතේ ලඝු කොට ඇති ආකාරය එවිට ඔබටම මනාව වැටහෙනු ඇත.
සංස්කෘතිය, විශ්වාස, ඇදහිලි ජීවන කඩයිම් හි ප්‍රබල බලපෑම් කාරකයන්ය. එය ජීවිතයට හොද සේම සැලකිය යුතු අන්දමේ බලපෑමක් එල්ල කරයි. එහි කෙනෙකුට තර්ක කිරීමටද යමක් ඇත. "සමාජ සම්මතයන් නිර්මාණය කොට ඇත්තේ සමාජ යහපතටමය, හිතු මනාපෙට ක්‍රියා කිරීමෙන් නොයෙකුත් අනවශ්‍ය ගැටලු ජීවිතයට පැමිණෙයි" යනාදී ලෙසය. එහිත් වරදක් නැත්තේම නැත. තම ස්වාර්ථය වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට තරම් සමාජ ඝට්ටකයා බුද්ධිමත් විය යුතුය. 
හැඟීම්, මිනිසා මෙහෙයවන ප්‍රධාන ක්‍රියකාරීත්වයයි. ආදරය, විරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, සතුට, දුක, සංතෘප්තිය යනාදී වූ එකී මෙකී හැඟීම් මිනිසා තුල ජීවමාන මිනිසෙකු නිර්මාණය කරයි. එසේම එහි නිවැරදි පාලනය මිනිසා මිනිසෙකු වන්නේද නොමිනිසෙකු වන්නේද තීරණය කරයි. හැඟීම් දෙපැත්ත කැපෙන පිහි තලයක් වැනිය. මන්ද යත් ප්‍රවේෂමෙන් භාවිත නොකලොත් බොහෝ අනපේක්ෂිත අවාසි ගෙන දීමට සමත් බැවිනි. සිත තුළ උපදිනා නොයෙකුත් බැඳීම් මුල් කරගෙන මිනිසා සිහින දකින්නට නොදැනුවත්ව පෙළඹෙයි. එමෙන්ම එහි එහි යථාර්ථයක් දැකීමට උත්සුක වෙයි. ප්‍රබලව දකින සිහින සැබෑ වුවහොත් එයින් සංතෘප්ත වෙයි. අවාසනාවට එසේ නොවුණහොත් තමන් කෙරෙහිම කලකිරෙයි. එහිදී බුද්ධිමත් පුද්ගලයා දුර දිග බලා අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹුනත්, සාමාන්‍ය පුද්ගලයා තම ජීවිතය පවා ඇතැම්විට අත් හරියි. සිහින දකින්නට සැමට අයිතිය ඇත, එමෙන්ම එහි සැබෑ වීම දකින්නටද අයිතිය ඇත. නමුත් අසාර්ථකත්වය හමුවේ මුග්ධ ලෙස පලා යෑමට අයිතියක් නැත.
තාක්ෂණය සමඟ මිනිසා දියුණු වෙමින් ඇතිබව පුන පුනා නැගෙන මතයයි. එය අසත්‍යක් නොවේ. නමුත් එයත් සමඟ සමාජ සම්බන්ධතා කොතරම් දුරකට ඈත් වී තිබේදැයි වරක් සිතා බැලිය යුතුය. වත්මන් පරපුර සබඳතා ඇති කර ගන්නේ සමාජ ජාලා හරහා කිසිදා දැක නොමැති, වචනයක් වත් කතා නොකල යමෙකු සමඟය. එහෙත් වැඩිහිටි පරපුර සබඳතා ඇති කර ගන්නේ දැක හොඳින් කතා බහ කර හදුනාගැනීමෙන්ය. එහෙයින් ඔවුන්ට යමෙකු සමඟ කතා කල පමණින් ඔහු පිළිබඳ යම් නිගමනයකට එලඹිය හැක. එමෙන්ම ආගන්‍තුකයන් සමඟ ඕනෑම තැනකදී කතා කර මිත්‍ර වීමේ හැකියාව ඇත. වත්මන් පරපුර එසේ නොමැත. සමාජය සමඟ නියමාකාර සබඳතා ගොඩනැගීමේ හැකියාව ඔවුන්ට නොමැත. මන්ද ඔවුන් පුද්ගලයන් දැකීමට පුරුදුව ඇත්තේ තම දෘෂ්ටිය අභිබවා ගිය සමාජජාලා දෘෂ්ටියෙන් වීමෙනි. මේ හේතුවෙන් මුහුණ පෑමට සිදු වූ විපත් ඕනෑ තරම්ය. 

මේ ඔබ මම ජීවත් වන සමාජයයි. එහි කොතරම් වැරදි අඩුපාඩුකම් තිබුනද අප එහි ජීවත් විය යුතුමය. එහෙයින් යතාර්ථය දැක ඒ තුල ජීවත් වීම වඩා අගනේය.

ඉසුරි හංසිකා
පළමු වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...



Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19