True definition of Valentine



"ආදරය"..ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා. අපිත් එක්ක ආදරේ ගැන අදහස් බෙදාගත්තේ ගයාත්‍රි නංගි.ඉතින් අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න...

ආදරය හැඳින්වීම එතරම් ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. ආදරය විවිධ තැන්හි දී, විවිධ ආකාරයට, මිනිසුන් අර්ථකථනය කරනවා. ඒ කෙසේ වෙතත් මතුපිටින් පෙනෙන වචනයට එහා ගිය ගැඹුරු අරුතක් මේ වචනය තුළ රැඳී පවතිනවා. මෙහි සැබෑ අරුත හඳුනාගත් පිරිස ආදරයෙන් ජය ලබද්දී, තවත් පිරිසක් විරහවෙන් තනිවෙනවා. මෙලෙස පිරිසක් ආදරය අත්විදලා තිබෙනවා තවත් පිරිසක් එය විඳින්නට බලාගෙන සිටිනවා. ඔය කොයි කාගෙත් කතාබහට ලක්වුණු දිනයක් තමයි අද දින එනම් පෙබරවාරි 14. අපි කවුරුත් දන්න විදියට කිවහොත් "ලෝක ආදරවන්තයින්ගේ දිනය".

ආදරේට විවිධ අරුත් තිබෙනවා වගේමයි මේ ආදරවන්තයින්ගේ දිනය ගැනත් විවිධ මත පල වනවා. ලෝකය ගෝලාකාරයි - මිනිස්සු විවිධාකාරයි කියලා අපි කට වචනෙට පැවසුවත්, ඇත්ත වශයෙන්ම විවිධ අදහස්  දරන්නන් තමා මේ ලෝකයේ ජීවත් වන්නේ. එ නිසා ඇතමුන් පෙබරවාරි 14ට පමණක් ආදරය සීමා කරන්නේ ඇයි දැයි කියා ප්‍රශ්න කරද්දී, තවත් පිරිසක් හැමදෙයකටම විශේෂ දවසක් වෙන්ව තිබියදී ආදරවන්තයින්ටත් දවසක් වෙන් වුණාම ප්‍රශ්නයක් නැතැයි කියලා සිතනවා. ඉතින් ආදරවන්තයින්ටත්  දිනයක් අවශ්‍යද - නැතිද, එදින හොඳද - නරකද, එය සාධාරණද - අසාධාරණද, කියා සිතන්නට ඔබට භාර කොට, හැමෝගෙම කතාබහට ලක්වූ ආදරවන්තයින්ගේ දිනයේ කතාබහට ලක්නොවූ කරුණු කිහිපයක් මේ ලිපියෙන් ගෙන එන්නට සිතුවා.

ඕනෑම කතාවකට පාදක වුණු නිදන් කතාවක් අනිවාර්යෙන්ම පවතිනවා සේම, ආදරවන්තයින්ගේ දිනයටත් ඉතිහාස කතාවක් පවතිනවා. මේ ඉතිහාස කතාව අතීත රෝම අධිරාජ්‍ය දක්වාම දිව යනවා. රෝම අධිරාජයෙකු වුණු දෙවන ක්ලෝඩියස් අවධියේදී සොල්දාදුවන්ට විවාහ වීම තහනම් ලෙස නීතියක් පනවා තිබෙනවා.මීට හේතුව ලෙස සැලකෙන්නේ අධිරාජයා විශ්වාස කොට තිබෙනවා විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් ශක්ති සම්පන්න බව.නීතිය මෙලෙස පවතිද්දී එවකට විසූ වැලන්ටයින් නම් පූජකතුමා ආදරවන්තයින් කෙරෙහි දයාවෙන්, ආදරයෙන් වෙළී සිටි සොල්දාදුවන් හා ඔවුන්ගේ පෙම්වතියන් හොර රහසේම විවාහ කොට තිබෙනවා. මේ පිළිබඳ අධිරාජයාට සැලවීම නිසා නීතියට පිටතින් කටයුතු කෙරූ වැලන්ටයින් සාමිවරයා සිරගත කොට මරණ දණ්ඩනය ලබාදුන් බව ඉතිහාස කතාවේ සඳහන් වෙනවා. ඔහුට මරණ දණ්ඩනය නියම වූයේ අද වැනි දිනයක එනම් පෙබරවාරි 14 වනදා. එම දිනය තමයි අද ලෝක ආදරවන්තයින්ගේ දිනය ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ. වැලන්ටයින් සාන්තුවරයාගේ වියෝවෙන් වසර දෙසීයකට පමණ කාලයකින් පසුවයි පෙබරවාරි 14 වනදා ලෝක ආදරවන්තයින්ගේ දිනය ලෙස නම් කොට තිබෙන්නේ.

ආදරවන්තයින්ගේ දිනයේ ඉතිහාස කතාව එලෙස සඳහන් වෙද්දී, මේ දිනය හා සම්බන්ධ විවිධ තෑගි බෝග හා බැදී තිබෙනා කථා රාශියක්ද පවතිනවා. වැලන්ටයින් සුභ පැතුම තම පෙම්වතියට හෝ පෙම්වතාට යවන විට 'from your valentine' යන යෙදුම යෙදීම ජනප්‍රිය කරුණක්. මෙයට හේතු සාධක වී ඇත්තේ වැලන්ටයින් සාමිවරයා ඔහුව සිරකොට පැවති අවධියේ දී සිරගෙදර මුලාදෑනියාගේ දියණිය සමඟ පෙමින් බැදී තිබීමත්, එම තරුණිය අන්ධ තරුණියක්ව සිටි අතර ඇයව ප්‍රාතිහාර්යක් මගින් සුව කොට ඇති බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වනවා. වැලන්ටයින් පූජකවරයා ව මරා දැමීමට පෙර තම පෙම්වතියට යැවූ ලිපියෙහි 'from your valentine' ලෙස පැවති බව සඳහන් වනවා. එහි ආභාශයක් ලෙස තමයි වර්තමානයේදීත් වැලන්ටයින් සුබපැතුම් වල මෙම යෙදුම සඳහන් වන්නේ.

ආදරවන්තයින්ගේ දිනය සමග පෙම්වතුන් අතර හුවමාරු වන ආදරයේ සංකේතය ලෙස සැලකෙන්නේ  රෝස මලයි. මෙය ආදරය සංකේතය ලෙස සැලකීමට හේතුව වන්නේ ආදරයට අධිපති දෙවඟන වූ වීනස් දෙවඟනගේ ප්‍රියතම මල රෝස මල වීමයි. එමෙන්ම මෙදිනට හුවමාරු වන තවත් තිළිණයක් ලෙස චොක්ලට් පෙට්ටිය හැඳින්විය හැකිය. වැලන්ටයින් දිනය වෙනුවෙන් ප්‍රථම වරට චොක්ලට් පෙට්ටියක් නිෂ්පාදනය කොට තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ කැඩ්බරි සමාගමේ  නිර්මාතෘවරයාගේ පුතෙකු වූ රිචඩ් කැඩ්බරි විසින් 1860 වර්ෂයේදී ය. තවත් සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැක්කේ දැනට ඉතිරිව ඇති පළමු වැලන්ටයින් සුභ පැතුම හමුවන්නේ 1415 වරෂයේදී ඕලියන්ස් හී ඩියුක්වරයා වූ චාල්ස් විසින් තමන්ගේ බිරිඳට ලියන ලද කවි එකතුවකි.

ඉහතින් සඳහන් කෙරූ  සියල්ලක්ම පාහේ ආදරය කරන පෙම්වතුන් පෙම්වතියන් විසින් සිදුකරනු ලබන ඒවාය. පෙබරවාරි මාසයේ යෙදෙන මෙම දිනය පිරිසක් අති උත්කර්ෂවත් අයුරින් සමරන විට, තවත් පිරිසකට මෙය තවත් එක් සාමාන්‍ය දිනයකි. ඔවුන් වැලන්ටයින් යන සංකල්පය බැහැර කෙරූ පුද්ගලයින් වේ. මේ දෙපිරිසටම අයත් නොවූ තවත් පිරිසක් ඇත. එම පිරිස හැඳින්වීමට බහුල ව යෙදෙනුයේ තනිකඩයින් යන නාමයයි. මෙදිනට මොවුන් මෙය  සමරන පුද්ගලයින් දෙස බලා  සිනාසෙති,  ඇතැම් විටෙක ඊර්ෂ්‍යා කරති, තවත් විටෙක තනිකඩයින් වීම සැපතක් යයි උදම් අනති. එහෙත් ඔවුනටත් එදිනට සැමරිය හැකි තවත් උත්සවයක් ඇත. ඒ ලෝක තනිකඩයින්ගේ දිනයයි (Singles Awareness Day). මෙම දිනය ද යෙදී ඇත්තේ පෙබරවාරි 14 වැනිදා වීම තවත් සුවිශේෂී කරුණකි.  ලංකාව තුළ මෙම සංකල්පයේ එතරම් ජනප්‍රිය නොවූවත් ලෝකයේ බොහෝ රටවල් වල තනිකඩ පිරිස මෙදිනට එකට එකතු වී තනිකඩ බව සැමරීම හෝ ඒ පිළිබඳව ශෝක වීම සිදු කරයි. මෙය ලෝකයේ පවතින තරමක අමුතුබවක් දැරූ  උත්සවයක් ලෙස සැලකිය හැක.

වැලන්ටයින් පූජකවරයාගේ කැපවීම හා ඔහුව සිහි කරමින් සරල, අහිංසක ලෙස සැමරූ ලෝක ආදරවන්තයින්ගේ දිනය මෙතරම්  උන්මාදයක් ලෙස පැතිර යාම ආරම්භ වී ඇත්තේ 1900 වර්ෂයේ මුල් භාගයේදීය. ලෝකයට අළුත් අළුත් දෑ නිතර ම උරුම කර දුන් මහා බ්‍රිතාන්‍යය විසින් වැලන්ටයින් උන්මාදය නැතහොත් මෙම අලුත් වැලන්ටයින් රැල්ල ලෝකයට හඳුන්වාදී තිබෙනවා. වර්තමානය වන විට වැලන්ටයින් දිනය පෙම්වතුන්ට වඩා ව්‍යාපාරිකයින්ට ප්‍රීතියක්, විශාල ලාභයක් ගෙන දෙන දිනයක් බවට පත්ව ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නැත. ලෝකය දිනෙන් දින දියුණු වීමත් සමඟ ගෝලීයකරණය බලපෑමට හසුව මෙලොව පවතින සියලු දෑ වාණිජකරණයට ලක් වෙනවා. ඇතැමුන් උතුම් යැයි සලකන ආදරය පවා මේ වාණිජකරණ රැල්ලට හසු වන්නේ එහි ඇති අර්ථයද කෙළෙසමින් ය.

පෙබරවාරි මාසය ආරම්භ වීමත් සමඟම පදිකවේදිකාවෙන් ආරම්භවී සුපිරි වෙළඳසැල් දක්වාම මේ වැලන්ටයින් රැල්ලට නතුවනවා. රෝස මල්, ටජ්මහල්  වැනි ආදරයේ සංකේතවලින් මෙකී නොකී සියළු තැන පිරී යනවා. එපමණක් නොව විවිධ තිළිණ හා චොක්ලට් ආදියෙන්  මෙම සෑම ස්ථානයක්  ම පරිපූර්ණ වන විට, ව්‍යාපාරික අරමුණින් ඇතැමුන් රට පුරා විවිධ උත්සව සංවිධානය කරනවා. මේ සියලු දෑ වලට ප්‍රධාන වශයෙන් ඉලක්ක වන්නේ රටේ තරුණ පරපුරයි. තම  ආදරවන්තයාට හෝ ආදරවන්තිට තිළිණයක් ලබා දීමේ අරමුණින් ඇතැමුන් සමාජය පිළිනොගත් අසම්මත ක්‍රියාවන්ගෙන් පවා ඒවාට මුදල් සෙවීමට යොමු වනවා. එදිනට තමන්ට ඇති අමතර පන්තිය හෝ  අතපසු කරගනිමින් තමා ආදරය සොයා යන තරුණ තරුණියෝ ද සිටිනවා. ආදරයක් තුළදී තෑගි බෝග හුවමාරු කරගැනීම සාමාන්‍ය කරුණක්. නමුත් වර්තමානය වනවිට ත්‍යාග වලට හා රාගයට පමණක් ආදරය සීමා කොටගත් පිරිසක් බහුලව අප අතර ජීවත් වනවා. 

ආදරවන්තයින්ගේ දිනයේ දී අසන්නට දකින්නට ලැබෙන ඇතැම් කරුණු වල නම් එතරම් ආදරණීය බවක් දක්නට ලැබෙන්නේ නැහැ. වසරින් වසර පෙබරවාරි මාසයේදී අලෙවි වන රෝස මල් හා චොක්ලට් ප්‍රමාණය ඉහල යන විට,  උපත් පාලන පෙති සහ කොපුවල අලෙවියත් දෙතුන් ගුණයකින් ඉහළ යන බවට වාර්තා වෙනවා. වැලන්ටයින් දිනයේ දී ලැගුම්හල් වලට ඇති ඉල්ලුම අද වන විට සීග්‍රයෙන් ඉහළ යද්දී, එදිනෙදා ශ්‍රී ලංකාවේ තරුණියන් 9000 කට වැඩි පිරිසක් තම කන්‍යාභාවය අහිමි කර ගන්නා බවටත් සමීක්ෂණ වාර්තා සාක්ෂි දරනවා. ඒ තරමටම වර්තමානයෙහි ආදරවන්තයින්ගේ දිනය පිළිබඳ ඇත්තේ හොඳ වාතාවරණයක් නම් නොවේ. අද උපන් මේ දවස මෙතරම් අන්ධකාරයෙන් පිරී පවතියි නම්.....  තවමත් නූපන් හෙට දවස කෙසේ ආලෝක කරන්නද???  ඔබට සිතන්නට යමක් මෙහි ඇත.

එවකට විසූ වැලන්ටයින් පූජකතුමා ආදරවන්තයින් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කොට මරණයට නියම වීම හා වර්තමාන ප්‍රජාව එම ආදරවන්තයින්ගේ දිනය සමරන ආකාරය අතර කෙතරම් පරස්පර විරෝධී තත්ත්වයක් පවතිනවා ද යන්න ඔබට වැටහෙනු ඇත. තම හැඟීම් වලට පමණක් වහල් නොවී තම බුද්ධිය ද පාවිච්චි කරමින් කටයුතු කරන්නේ නම් මෙම තත්වය මීට වඩා යහපත් කරගැනීමට හැකියාව ලැබෙනු නොඅනුමානය. වානිජ පරමාර්ථයෙන් යුතුව හුදු ප්‍රදර්ශනයට පමණක් සීමාවූ විවිධ ප්‍රසංග වලින් හෝ, උත්සවවලින් හෝ, තිළිණ වලින්  හෝ, ලැගුම්හල්වලට යෑමෙන් හෝ ආදරයට අරුතක් එක් කිරීම විහිළුවකි. මෙලොව ආදරය කරන්නේ තනි පුද්ගලයෙක්  පමණක්ම නොව එය තවත් කෙනෙකුගේ මානව අයිතිය එහා ගිය සුන්දර  හැඟීමකි. මෙය නිවැරැදිව වටහා ගෙන කටයුතු කරන්නේ නම් රැල්ලක්  පමණක් බවට පත්වූ ආදරවන්තයින්ගේ දිනය අව්‍යාජත්වයෙන් යුතු ආදරවන්තයින්ගේ දිනයක් බවට පත් කර ගැනීමට ඔබටත් මටත් අප සැමටත් හැකියාව ලැබෙනු ඇත.
ගයත්‍රි හත්තොටුව
දෙවන වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.


මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com


එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...



අපි FMF Media Blog Unit...































Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19