2002 ICC Champions Trophy Final - Episode 02 (SL vs IND)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2002 අයි.සී.සී චැම්පියන්ස් කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2002 අයි.සී.සී චැම්පියන්ස් කුසලාන අවසන් තරඟයේ මතක එක්ක...
2002 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ට ද වැදගත් වසරක් වූයේ  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කරන ප්‍රධාන පෙළේ  තරඟාවලියක් සඳහා ප්‍රථම වතාවට පූර්ණ  සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව වරම් ලැබීමත් සමඟයි. ඒ අනුව තෙවන වරටත් සංවිධානය කරන ලද ශූරයන්ගේ කුසලානය (champions Trophy) නොහොත් මිනි ලෝක කුසලානය (Mini world cup) කොලඹ ආර්.ප්‍රේමදාස හා SSC ක්‍රිඩාංගන‍යන් හිදී සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 29 දක්වා පැවැත්වීමට සැලසුම් කරන ලදී. 1998 වසරේ ඇරඹි ශූරයන්ගේ කුසලානය පැවැත්වීමේ අරමුණ වූයේ ටෙස්ට් තත්ත්වය ලබා නොසිටි රටවල ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ආදායම් ඉපයීමේ තරගාවලියක් ලෙසයි. එමෙන්ම ශූරයන්ගේ කුසලානය දෙවැනි වන්නේ ලෝක කුසලානයට පමණි. සීමිත කණ්ඩායම් හා නොකවුට් ක්‍රමයට කෙටි කාලයකින් අවසන් වන ලෙස සැලසුම් කෙරුණු මෙම තරඟාවලියට, පලමු තරඟාවලියේ පටන්ම ඉතා ඉහළ ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හා වාණිජමය සාර්ථකත්වයක් හිමිවිය.

දුර්වල සැලසුම් හා තීරණ නිසා 1999 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ගෙදරට එන්නට වුවද ඉන්පසුව ක්‍රමයෙන් ගොඩ නැඟුණු ශ්‍රී ලංකාව 99 ලෝක කුසලානයෙන් පසුව 2002 ශූරයන්ගේ කුසලානය දක්වා පැවැති තරගාවලි 19කින් 12ක්ම ජය ලබා ගැනීමට සමත් විය. එම නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ද 2002 ශූරයන්ගේ කුසලානය වෙත සුබවාදී බලාපොරොත්තු දල්වා ගෙන සිටියහ. ටෙස්ට් රටවලට අමතරව කෙන්යාව හා නෙදර්ලන්තය සහභාගී සහභාගීවූ වූ තරගාවලියට රටවල් 12 කාණ්ඩ හතරක් යටතේ තරඟ වැදුනි.

මූලික වටයේ පළමු තරඟයේදි පාකිස්තානය කඩුලු 8කින් පරාජයට පත් කිරීමට, ශ්‍රී ලංකාවට හැකි විය. එහිදී වසීම් අක්‍රම්, වකාර් යුනිස්, ෂොයිබ් අක්තාර්, අබ්දුල් රසාක්, ෂහිඩ් අෆ්රිඩි වැනි ප්‍රබල පන්දු යවන්නන් සමන්විත පකිස්ථානයට එරෙහිව සනත් ජයසූරිය නොදැවී ලකුණු 102ක් වාර්තා කරමින් තරඟයේ වීරයා විය. දෙවන තරඟයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 206 ක දැවැන්ත ජයක් වාර්තා කල අතර ශතකයක් රැස්කල මාවන් අතපත්තු තරගයේ වීරයා විය.
මූලික වටයේ තරග අවසානයේදී එක් එක් කාණ්ඩවල ප්‍රථමයන් වූ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සමගත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව සමග අවසන් පූර්ව සඳහා සුදුසුකම් ලැබීය. එවකට ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝදෙනාගේ අපේක්ෂාව විය. සැප්තැම්බර් 27 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව ප්‍රථම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 48.4 කදී ලකුණු 162 සියලු ක්‍රීඩකයන් දැවී ගියේය. එහිදී ඔස්ට්‍රේලියානු  ඉනිම සුනු විසුනු කිරීමට මුරලි ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් අතර පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් පෑ අරවින්ද ද සිල්වා තරගයේ වීරයා විය.
අනෙකුත් අවසන් පූර්ව තරගය ඉන්දියාව විසින්  දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 10 ක තියුණු ජයක් ලබාගත් අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග අවසන් මහා තරගයට වරම් හිමිකරගත්තේය. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු ICC තරඟාවලියේදීම අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීම නිසාත් අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරඟය ලෙස දන්වා තිබූ නිසාත් අවසන් තරඟය නිසා නිසාත් සැප්තැම්බර් 29 දින ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. තණතීරුව වියළි හා මන්දගාමී එකක් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහිදී සනත් ජයසූරිය ලකුණු 74ක් සහ කුමාර් සංගක්කාර ලකුණු 54ක් රැස්කල අතර ඒ මතින් ගොඩනැගුනු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසානයේ ලකුණු 244 කට කඩුලූ 5 ක් ලෙස දැක්විනි.වරෙක පන්දුවාර 38ක් අවසානයේ ලකුණු 184-2 ලෙස ස්ථාවර ස්ථානයක සිටියත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉහල සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි වීම කැපී පෙනුනි. 
තණතිල්ල එන්න එන්නම මන්දගාමී වීම නිසා පිතිකරුවන්ට සුපුරුදු දැවැන්ත පහර වලට යෑමට නොහැකි වූ අතර ඉන්දීය දඟ පන්දු යවන්නෝ ද  තණතිල්ලේ වාසිය ඉතා හොඳින්  ප්‍රයෝජනයට ගනිමින් පන්දු යැවූහ. ඉන්දීය විශේෂඥ පිටදඟ පන්දුයවන්නා වූ හර්බජාන් සිං සිය පන්දුවාර 10 තුළ ලකුණු 27 කට කඩුලූ 3ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ ඉන්දියාව වෙනුවෙන් දිනේෂ් මොන්ගියා හා විරේන්ද්‍ර ශෙවාග් පිටියට පැමිනියත් පන්දුවට පහරදීමට හැකිවුණේ පන්දු වාර දෙකක් පමණි. සියලු දෙනාගේ බලාපොරොත්තු කඩකරමින් වර්ෂාව ඇද හැලෙන්නට පටන් ගත්තේය. ඒවන විට ඉන්දියාව කිසිවෙකු නොදැවී පන්දු වාර 2ට ලකුණු 14 රැස් කරගෙන සිටියහ. කෙසේ වෙතත් දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීමට උචිත තත්වයක් උදා නොවුණු බැවින් අවසන් තරඟය අතිරේක දිනයට රැගෙන යන්නට තරඟ විනිසුරුවන් හා තරග තීරක තීරණය කලෝය. එකල ICC නීතිය වූයේ පෙරදින තරඟයේ දෙවන ඉනිමේ පන්දුවාර 25 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්නම් පමණක් එතැන් සිට තරගය පැවැත්විය යුතු බවය. නැතිනම් අතිරේක දිනයේ නව තරඟයක් ලෙස ආරම්භ කල යුතුය.

ඒ අනුව සැප්තැම්බර් 30වැනිදා නව තරගයක් ලෙස අවසන් මහා තරගය නැවතත් පැවැත්විණි. නව දිනයක සුභ බලාපොරොත්තු සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් තිස්දාහකට අධිකව පිරී ගියේය. ශ්‍රී ලංකාව පෙර දිනයේ ක්‍රිඩා කල කණ්ඩයමෙන් වේග පන්දු යවන පුලස්ති ගුනරත්න ඉවත් කර දඟ පන්දු යවන උපුල් චන්දන එක් කොට තිබූ අතර ඉන්දියාවද වේගපන්දු යවන ජවගල් ශ්‍රීනාත් ඉවත්කර දඟ පන්දු යවන අනිල් කුම්බ්ලේ කැඳවා තිබිණි. එයිනුත් පැහැදිලි වූයේ තනතීරුව මන්දගාමි හා දඟ පන්දුයවන්නන්ට වාසිදායක එකක් වූ බවයි. මේ තරඟයේත් කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. එහෙත් සහීර් ඛාන් යැවූ පළමු පන්දුවම එතෙක් තරඟාවලි‍යේ ලකුණු අතර සිටි සනත් ජයසූරියගේ  කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදු වීම ශ්‍රී ලංකාවට වූ මරු පහරක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු 24 ක් වෙද්දී මාවන් අතපත්තු ක්‍රීඩා ගාරයට හරවා යැවීමට අජිත් අගාර්කර් සමත් වුනේ කඩුලු රකින ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ගේ දක්ෂ උඩපන්දු රැකීමත් සමගයි. ඉන්පසු කුමාර් සංගක්කාර හා එක් වූ අරවින්ද ද සිල්වා, අජිත් අගාර්කර්ගේ පස්වන පන්දුවාරයට හතරේ පහර 5ක් එල්ල කළේ රැස්ව  සිටි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි. 
ඒ වනවිට කඩුල්ලේ ස්ථාවර ව සිටි අරවින්ද දිගු ඉනිමක් යන බවට ඉඟි පළ කර ද ඉනිමේ 13 වන පන්දු වාරය ක්‍රියාත්මක කල ඉන්දීය පාදඟ පන්දු යවන අනිල් කුම්බ්ලේ ගේ පන්දුව ට එල්ල කල ස්වීප් පහරෙන් ඉහල නැගුණු පන්දුව සුරක්ශිතව රැක ගැනීමට මොන්ගියා සමත් විය. ඒ වන විට ලකුණු පුවරුව දැක්වුනේ 63-3 ලෙසයි.17 පන්දු වාරයේදී කුමාර් සංගක්කාර අවාසනාවන්ත ලෙස දුවද්දි දැවියාමට හසු වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71 කඩුලු හතරක් ලෙස අසීරු තත්ත්වයකට ඇද වැටී තිබිණි. 

ඉන්පසුව මහේල ජයවර්ධන සමග එක්වූ රසල් ආනල්ඩ් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමේ කාර්යයට උත්සාහ කළ අතර වඩාත් ආරක්ෂාකාරි ලෙස පන්දුවට පහර දුන් මහේල-ආනල්ඩ් පලමු පන්දුවාර 20ට ලබාගෙන තිබුණේ ලකුණු 60ක් පමණි. ඉන්පසු මහේල අර්ධ ශතකය ලබා ගැනීමත් සමග ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට උත්සාහ දැරූ අතර සහීර් ඛාන් ගේ පන්දුවකට එල්ල කල පහර cover කලාපයේ සිටි ගංගුලි උඩ පන්දුවක් ලෙස රැක ගැනීමත් සමග මහේල ලකුණු 64 ක් ලබා පිටියෙන් ඉවත් විය. මහේල-ආනල්ඩ් පස්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 163 කදී ලකුණු 118 ක් එක්කර කර තිබිනි. ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිම ඕවර් 45.2 ට ලකුණු 189-5 ලෙස දිස් වූ අතර රසල් අනෝල්ඩ් ගේ නොදැවී ලකුණු 52 හා චමින්ද වාස්ගේ වේගවත් ලකුණු 14 ට පින්සිදුවන්නට ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 222-7 ලෙස සටහන් විය. 
ලකුණු 223 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 6ක් වන විට පළමු කඩුල්ල බිඳ වැටුනේ වාස් යොමු කළ පන්දුවට,  මොන්ගියා එල්ල කළ පිත්තේ හරි හැටි නොවැදුනු  පුල් පහරින් ඉහළ ගිය පන්දුව  මහේල ජයවර්ධන සුරක්ෂිත ලෙස රැක ගැනීමත් සමඟින්. ඉන් පසු පිටියට පිවිසි සචින් තෙන්දුල්කාර්ට චමින්ද වාස් එල්ල කළ කල පළමු පන්දුවම ටෙන්ඩුල්කාර්ගේ පා ආවරණයේ වැදීමත් සමග වාස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල ප්‍රබල ඉල්ලීමක් කළත් විනිසුරු ස්ටීව් බක්නර් එය නොදැවීමක් ලෙස සංඥා කළේය. එහෙත් පුනරූපනයෙන් දිස් වූයේ එය දැවී යාමක් ලෙසයි. ඒ අතර තුන්වන පන්දුවාරය අතරවාරයේ තරඟාවලි‍යේ ඉහළම කඩුලු ලාභියා වූ මුත්තයියා මුරලිදරන් යම් ආබාධයකින් පෙළෙන බැවින් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ බවක් දිස් විය. කෙසේ වෙතත් හත්වන පන්දුවාරය ක්‍රියාත්මක වන විට වර්ෂාව ඇද හැලෙන්නට වූයේ සියළුදෙනාගේ බලාපොරොත්තු දෙවන දිනයටත් බිඳ දමමිනි. කෙසේ වෙතත් දැඩි වර්ෂාවක් දිගින් දිගටම පැවති හෙයින් මෙදින තරඟයද අතහැර දැමීමට තරග තීරක හා විනිසුරුවන් තීරණය කළේය. ඒ අනුව 2002 ශූරයන්ගේ කුසලානය ඉන්දියාව හා ශ්‍රී ලංකාවට සම ශූරතාවය පිරිනැමීමට තරඟ තීරක තීරණය කළේය.
ශ්‍රී ලංකා නායක සනත් ජයසූරියගේ අදහස වූයේ තණතීරුව ක්‍රමයෙන් මන්දගාමී වූ බැවින් ලකුණු 225-240 ආරක්ෂා කර ගත හැකි ලකුණු සංඛ්‍යාවක් වූ බවයි. නමුත් ඉන්දීය නායක සව්රව් ගංගුලිගේ අදහස් වූයේ තණතිල්ල මන්දගාමී වුවත් දඟ කැවීමක් නොතිබුණු නිසා තම පිලට පහසුවෙන් තරඟය ජය ගැනීමට හැකියාවක් තිබූ බවයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් බැවින් අවසන් පන්දුව තෙක් කිසිකෙනෙකුට අනාවැකි පළ කළ නොහැකිය. 
කෙසේ වෙතත් අවසානයේ දින දෙකක් තුළ පන්දුවාර 110 ක්‍රියාත්මක කළත් තරගය තීරණයක් නොමැතිව අවසන් අවසන්වීම ප්‍රේක්ෂකයන්ගේ දැඩි කනස්සල්ලටත්, විස්තර විචාරකයන්ගේ ද දැඩි දෝෂ දර්ශනයටත් ලක්විය. පසුකාලීනව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තරග නීති පවා වෙනස් කිරීමට පියවර ගත්තේය. ICC තරගාවලීන්හිදී ශ්‍රී ලංකාවේ දැක්වූ දස්කම් අතර අඩුවෙන්ම කතාබහට ලක්වන තරගාවලිය ලෙස 2002 ශූරයන්ගේ  කුසලානය හැඳින්වෙන්නේ ද මෙලෙස අවසන් මහා තරගය වර්ෂාවට සේදී යාමත් සමගයි. එහෙත් 2002 කුසලානයේ සම ශූරතාවය දිනා ගැනීම එදා මෙදා තුර ශූරයන්ගේ කුසලාන තරඟාවලි වල දී ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ජයග්‍රහණය බව අමතක නොකළ යුතුය.

 හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...



Comments

Popular posts from this blog

Hanthana Sihinaya

කළමනාකරණ හා මුල්‍ය පීඨයේ නව සිව් මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම.

FMF Media Induction Day 2018