The Bag of Essentials

නව කොරෝනා වෛරසය හෙවත් covid '19 යන විද්‍යාත්මක නාමය මගින් හදුන් වන වසංගතය නිසා ලෝකයේ මිලියන ගනනක් ජනතාව අසරන වී තිබෙනවා. දහස් ගනනක් අහිංසක ජනතාවකට දිවි අහිමි කල මෙම ලෝක වසංගත තත්වය දුප්පත් අසරණ ජනතාවට වඩා වැඩි බලපෑමක් එල්ල කරනවා. ඇති හැකි බොහෝ ජනතාව මේ අසරණ වෙලා ඉන්න ජනතාවට උපකාර කිරීමට සැදී පැහැදී ඉන්නා මෙවන් අවස්ථාවක ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුනින් රජයේ අරමුදල් වලින් ලබා ගන්නා බඩුබාහිරාදිය පෞද්ගලික නම් යොදා බෙදා හරිමින් සිටින මේ අවස්ථාවේ අප විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබන පසිදු ජයරත්න මල්ලිගේ සිතේ ඇතිවුන අදහස අද අපි අපේ බ්ලොග් එක මගින් ඔබට ගෙන එනවා.

බඩුමල්ල

මේ දවස් වල හරි හුරුපුරුදු, ඇහෙනකොටත් කනට හරි සනීප වචනයක් තමයි "බඩු මල්ල". එක පැත්තකින් ආණ්ඩුව, තවත් අතකින් businessmenලා, තවත් පැත්තකින් රාජ්‍ය නොවන සංවිධාන; ඒ කිව්වේ......, ඒ කිව්වේ NGO, තවත් පැත්තකින් ආගමික නායකයෝ මේ සියලු දෙනාම තමන්ට ඇති හැකි විදිහට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර පාන බෙදලා දෙනවා මේ දවස් වල. ඔව් ඉතින් බෙදනවා තමයි...... ඒකේ ඇති වැරැද්ද මොකද්ද? නෑ නෑ එහෙම බෙදලා දෙනවා කියන්නේ ලොකු පිනක් ලොකු කුසලකර්මයක්. ඒකෙ ඇති වැරද්දක් නෑ. මේ කතා කරන්න හදන්නේ එහෙම තමන්ට පුලුවන් දේ  තමන්ට පුලුවන් විදිහට බෙදලා දෙන උතුම් මනුෂ්‍යත්වය ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ඒ බඩු මල්ල ගන්න පොරකන මිනිස්සු ගැන; හැමෝම මිනිස්සු ගැන නෙවෙයි සමහරක් මිනිස්සු ගැන. ඒ මොනවද? ඒ මොකටද? ප්‍රශ්න ගොඩයි නේද...... 😄 ඒ ඒ ඔක්කොටම උත්තර මම හේතුත් එක්කම කියන්නං.

ඔය මං කතා කරපු විදියෙ මනුෂ්‍යත්වයක් තියෙන මිනිස්සු ජීවත් වෙන රටක් නම් ඉතින් මේ අපේ පුංචි රට තමයි. ඒකට අටුවා ටීකා ටිප්පනි ඕනෙ නෑ. අනිත් දේ තමයි ඒකට තමන්ම කෝටි ගණන් සල්ලි තියෙන්නත් ඕනෙ නෑ. ඔය දේට මං හොඳ උදාහරණයක් කියන්නද? Curfew එක අයින් කරපු ගමන් quarantine වෙවී ඉන්න හැම එකාම බෙලි කඩාගෙන දුවනවා town එකට මොකද; ඊළඟට ඕක අයින් කරන දවස හරියටම දන්නෙ නැති නිසා කන්න බොන්න බඩු ටිකක් අරන් එන්න. ඔය අතරවාරේ දැකල තියනවද තමන්ගේ ගහේ කොස් ගෙඩිය, තමන්ගේ ගහේ දෙල් ගෙඩිය, මඤ්ඤොක්කා ටික ටවුන් එකට ගෙනල්ලා නිකං බෙදලා දෙන මිනිස්සු.

අන්න ඒ දේට තමයි කියන්නේ ඇති හැකි විදියට දෙනවා කියලා. තමන්ගෙ ගහේ කොස් ටික කඩලා, තමන්ම ලොරියකට පටවලා, තමන්ම තෙල් ගහගෙන ඒක ගෙනල්ලා ටවුන් එකේ ඉන්න මිනිස්සුන්ට බෙදලා දෙනවා. හරි වටිනවා නේද......🙏 ඒ තමයි අපේ රටේ තියෙන අනිත් උන්ට නැති මනුස්සකම. සංවර්ධිත රටවල සමහර මිනිස්සුන්ට බඩට දාගන්න දෙයක් නැතුව, එදා වේල කන්න සල්ලි නැතුව supermarket එක ඉස්සරහ අඬ අඬ ඉන්නකොට; අනේ! අර උද්ධමනය වැඩි, $1 දෙසීයට නැඟපු, රුපියල පාවෙන පුංචි දූපතේ මිනිස්සු හරි අපූරුවට අපේම මිනිස්සු වෙනුවෙන් පුළුවන් දේ පුළුවන් විදියට බෙදලා දෙනවා. දැන් හොයන්නෙපා supermarket එක ඉස්සරහ ඇඩුවෙ කවුද කියල. ඒ ප්‍රංශෙ ජීවත් වෙන මනුස්සයෙක්. 🤕
හරි දැන් මං කියන්නං මං අර පටන් ගන්නකොටම කියපු හතර බීරි කතාව ගැන. 😁 බඩුමල්ලක් දෙනවනං ගත්තම මොකද? ඒක වැරැද්දක් ද? මොන පිස්සුද...... ඒ මිනිස්සු හිත සතුටින් දෙන දේ ගන්න ඕනේ තමා. ඒත් ඒ ගන්න මිනිස්සුන්ගෙ ආකල්ප වල තමයි වැරැද්ද තියෙන්නෙ. ඔය විදියට අපේ රටේ පුළුවන් හැම මනුස්සයම නැති බැරි මිනිහට තමන්ට කන්න තියෙන දේ හරි බෙදල දෙනවා නම් ඇයි තවමත් අපේ රටේ ගොඩක් මිනිස්සු මේ දවස් වල දවසට එක වේලක්වත් කන්න විදියක් නැතුව දුක් විඳින්නේ. හරියටම අප්‍රේල් 6 වෙනිදා curfew එක තාවකාලිකව අයින් කරපු දවසෙ media එකෙන් එක්තරා ගමකට ගිහිල්ලා වයසක අම්මා කෙනෙක්ගෙන් අහනවා අම්මලට කන්න බොන්න එහෙම තියනවද කියලා.

අහන්න ලැබෙන දේ නං හරිම දුක්බරයි; "වටේම තියෙන කොස් ගස් වල ගෙඩි ඔක්කොම කාලා කන්න දෙයක් නැතිම තැන අපි දැන් කන්නේ ගස්ලබු ඇට" කියනවා ඒ අම්මා. ඒත් අර මං කලින් කියපු පුංචි දූපතේම මනුස්සයෙක් තමයි. මං දන්නෑ ගස්ලබු ඇට කන්නේ කොහොමද කියලා; හැබැයි ඒ දේත් එක්ක මට තේරුන එක දෙයක් තමයි බත් කැඳ ටිකක් වත් නැතුව ජීවත් වෙන මිනිස්සු කොයිතරම් අපේ රටේ ඉන්නවද කියලා. එතකොට අර රට පුරා ම බෙදන්නෙ අපේ රටේ මිනිස්සුන්ට නෙවෙයිද? අන්න එතනයි ගැටලුව තියෙන්නෙ. Media වලින් ඇවිල්ලා, ලොකු ලොකු ව්‍යාපාරිකයො ඇවිල්ලා, ආණ්ඩුවෙන් ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට බෙදලා දෙන බඩු මල්ලට මොකද වෙන්නේ? එකම ගෙදර ඉන්න නෝනා, ඒ නෝනගෙ මහත්තයා, අම්මා තාත්තා, ගෙදර ඉන්න බල්ලගෙ නමත් දාලා, පුලුවන්නම් මැරිච්ච එකෙක් ඉන්නවනං මිනිහගෙ නමත් දාලා අර ගෙනාපු බඩු මලු වලින් 5ක් 6ක් විතරම එක ගෙදරටම ගන්නවා.
අනේ ඉතින් ගෙවල් දහයකට යද්දි බඩු මලු ටික ඉවරයි. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එක ගෙදරකට පරිප්පු කිලෝ දහයක් විතර අරගෙන කිලෝ පහක් විතර ගුල්ලො ගහලා විසි කරද්දී ඒ ගමේම තවත් ගෙදරක මිනිහෙක් හෙට කන්නෙ මොනවද කියල කල්පනා කරනවා. අපේ මිනිස්සුන්ගෙ වෙනස් වෙන්න ඕනි ඔන්න ඔය ආකල්පය. අවුරුදු ගානකට උනත් කන්න බොන්න දේවල් තියෙන මිනිහා බලන්න ඕනි අමාරුවෙන් එදා වේල පිරිමහ ගන්න මිනිහා ගැන, එදා වේල කාලා කොහොම හරි ජීවිතේ ගැටගහගන්න මිනිහා බලන්න ඕනි එදා වේලවත් කන්න නැති මනුස්සයා ගැන. නැතුව වෙන්න ඕනි තමන්ට ඇති තරම් තියෙද්දිත් රට වටෙන්ම අරගන්න එක නෙවෙයි. තමන්ගෙ දේත් පුලුවන් විදියට අනිකාට බෙදල දෙන එක. අනිත් එකාගෙ දේ කඩා වඩාගෙන සතුටු වෙනවට වඩා තමන්ගෙ දේ දීල සතුටු වෙන්න බලන්න. මෙන්න මේ පුංචි ආකල්පය වෙනස් කරගන්න පුලුවන්නං ඒක හරි වටිනව.
මේ කියපු දේවල් පුද්ගලික අත්දැකීම් නොවුනත් රට ඇතුලෙ වෙන්නේ මෙන්න මේ දේ කියන එක පැය භාගයක් පුටුවෙ වාඩිවෙලා news බලනකොට අපි ඕනම කෙනෙකුට හොඳට තේරෙනවා. ලිපිය ටිකක් දිග වැඩි වුනා මොකද අවශ්‍යම දේ කියන්නම ඕනි නිසා. ඒ වගේම ලියපු බස් වහරත් ටිකක් වෙනස් වෙන්න ඇති; ඒ අපේ උන්ට මෙහෙම කිව්වෙ නැත්තං දැනෙන්නෙ නැති නිසා. අන්තිමට එක දෙයක් කියන්නං. තමන්ගෙම බත්පත හරි තව එකෙක්ට දෙන රටක ජීවත් වෙන මිනිස්සු බහුතරයක් ඉන්න මේ උතුම් රට ඇතුලෙම අනුන්ගේ බත් පතටත් කෙළින උන් නැතිවුන දවසක කොරොනා වලින් මැරිලා ගියත් කන්න නැතුව මේ රටේ එකෙක්වත් මැරෙන එකත් නෑ. 🙏
එහෙනම් ගිහින් එන්නම් 👋 හැමෝටම බුදු බුදුසරණයි ජේසු පිහිටයි 🙏
#stay home #stay safe අනාගතය අදයි 😉
පසිඳු ජයරත්න
දෙවන වසර
කළමනාකරණ හා මුල්‍ය පිඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19