2009 ICC Twenty 20 Final - Episode 04 (SL vs PAK)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2009 අයි.සී.සී ලෝක කුසලාන විස්සයි විස්ස (20 - 20) අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2009 අයි.සී.සී ලෝක කුසලාන 20 - 20 අවසන් තරඟයේ මතක එක්ක...
Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=335113)

 21 වන සියවසේ අවසන් වසර කිහිපය එළැඹෙනවිට ක්‍රිකට් ක්‍රීඩාව උපන් එංගලන්තයේ පවා, ක්‍රිකට් ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් පැවතිනි. නරඹන්නන් මෙන්ම අනුග්‍රහකයෝද ක්‍රිකට් අතහැර වෙනත් ක්‍රීඩා වටා රොද බැඳ ගන්නට විය. එයට ප්‍රධාන හේතුව වූයේ ක්‍රිකට් තරඟයක් සඳහා ගතවන කාලයයි. මෙයට පිළියමක් ලෙස විස්සයි 20 ක්‍රිකට් ආකෘතිය කරළියට පැමිණි අතර එක් පිලකට ඕවර 20 ඇතුලත්ව තරඟය පැය 3 කින් නිමාවන ලෙස නිර්මාණය විය. කෙටි කාලයකින් අවසන් වන උද්වේගකර තරඟ  රටාවකින් හෙබි T20 තරඟ රටාව, ක්‍රිකට් ලෝකයේ බොහෝ දේ උඩුයටිකුරු කළේය. අද වනවිට ලෝකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති T20 තරඟ රටාව ක්‍රිකට් ක්‍රීඩාවේ ධනවත්ම ආකාරය බවටද පත්ව තිබේ. 2005 වසරේ පළමු අන්තර්ජාතික T20 ක්‍රිකට් තරඟයෙන් අනතුරුව 2007 වසරේ පැවති පැවති පලමු ලෝක කුසලානය ඉන්දියාව දිනා ගැනීමට සමත් විය.

T20 ලෝක කුසලානය දෙවර්ෂයකට වතාවක් පැවැත්වීමට තීරණය වූ අතර 2009 වර්ෂයේ ලෝක කුසලාන සත්කාරකත්වය හිමි වූයේ එංගලන්තයටයි. ඒ අනුව ජූනි 5 වැනිදා සිට ජුනි 21 දක්වා තරඟ විසිහතක් පැවැත්වීමට සැලසුම් කෙරිණි. මේ වෙනුවෙන් රටවල් 12ක් කාණ්ඩ හතරක් ඔස්සේ ලෝක කුසලානය බලාපොරොත්තුවෙන් කඳවුරු බැඳගත්හ. 

2007 වසරේ පලමු ලෝක කුසලානයේ සුපිරි 8 වටයෙන් ගෙදර එන්නට වූ ශ්‍රී ලංකාව, 2009 ලෝක කුසලානය වනවිට T20 තරග රටාව මනාව අධ්‍යයනය කරමින් තරුණ ජවය, තුන් ඉරියව් ක්‍රීඩකයන් මෙන්ම එංගලන්ත තනතීරු වලට සුදුසු ක්‍රීඩකයන්ගෙන් යුතු  සංයුතියක් නම් කර තිබිණි. තරඟාවලිය පුරාම ශ්‍රී ලංකාව ඉහළ දක්ෂතා පෙන්නුම් කළ අතර සියලු ක්‍රීඩා විචාරකයන්ගේ මෙන්ම ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේද කතාබහට ලක් විය. මේ අතර විශේෂ කරුණක් වූයේ තිලකරත්න ඩිල්ෂාන් විසින් කඩුලු රකින ක්‍රීඩකයාට ඉහළින් එල්ල කල පහරයි. එය "Dilscoop" පහර ලෙස නම් කෙරුණු අතර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමින් පහරක් නම් වූ ප්‍රථම අවස්ථාව වේ. "What the hell, well well. I never seen this before..!!" විස්තර විචාරයේ සිටි ඉයන් බිශොප් පවා පුදුම කල ඇන්ජලෝ මැතිව්ස්ගේ  හතරේ සීමාවෙන් එළියට ගොස් පන්දු රැකීමේ කලාව ද ක්‍රිකට් ක්‍රීඩාවේ නව්‍යතාවයක් ලෙස සනිටුහන් විය. ශ්‍රී ලංකාවේ පන්දු බලඇණිය තරගාවලියේ හොඳම පන්දු බලඇණිය ලෙස බොහෝ විචාරකයන්ගේ ඇගයීමට පත් වී තිබුනේ එහි විවිධත්වයත් අත්දැකීම් බහුල, අක්‍රමණශීලි පන්දුයවන්නන් රැසක් සිටීම නිසයි. මේ අනුව ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීය. එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 57 කින් පරාජයට පත්කළ අතර ප්‍රථම වතාවට T20 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා වරම් හිමි කර ගත්තේය. අනෙක් අවසන් පූර්ව තරගයේදී  පාකිස්ථානය විසින් දකුණු අප්‍රිකාව ලකුණු 7 කින් පරාජයට පත් කිරීමට සමත් වෙමින් පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට වරම් හිමිකර ගත්තේය. 

ලෝක කුසලානයට මාස තුනකට පෙරාතුව පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණදීමට සිදුවූ අතර එයින් අනූ නමයෙන් ගැලවීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. එහෙත් පකිස්ථානයේ ක්‍රිකට් තරඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා තරග ද එයින් පසු පැවැත්වීම අත්හිටුවීම ඔවුන්ට එල්ල වූ මරු පහරක් විය. මෙවන් තත්ත්වයක් යටතේ මෙම කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට තේරී පත්වීම එක්තරා ආකාරයකට දෛවෝපගත සිද්ධියක් විණි. 

අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව දෙස බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියේ  තරගාවලිය පුරාම ඔවුන් අපරාජිතව සිටීමත් සුපිරි 8 වටයේ පකිස්ථානයද පහසුවෙන් පරාජයට පත් කිරීමට හැකි වූ නිසයි. එහෙත් පාකිස්තානය ක්‍රිකට් ලෝකයේ හැඳින්වෙන්නේ වඩාත්ම අවිනිශ්චිත (Most Unpredictable) කණ්ඩායම ලෙසයි. ඔවුන්ගේ දිනයේ දී ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව ඉතිහාසය පුරා ඔවුන් පෙන්නුම් කර තිබේ.

2009 ජූනි 21 ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන ලෝඩ්ස් පිටිය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේ උණුසුම් අවසන් තරග අත්දැකීමක් අපේක්ෂාවෙනි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කළේය. කණ්ඩායම් දෙකේම සිය අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම මෙම තරගය සඳහාත් ක්‍රීඩා කිරීමට තීරණය කොට තිබිණි.
 Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
තම ක්‍රිකට් ජීවිතයේ උපරිමය රිද්මයට පත් වෙමින් සිටි තිලකරත්න දිල්ෂාන් මේ තරඟාවලියේ ඉහළම ලකුණු ලාභියා වී සිටීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන තුරුම්පුවක් විය. මේ බව හොදින් අවබෝධ කර ගත් පාකිස්තානු නායකයා පලමු පන්දුවේ පටන්ම ඩිල්ශාන්  වෙනුවෙන් උගුලක් අටවා තිබිනි.ඒ අනුව 17 වියැති මොහොමඩ් අමීර්ගේ පළමු පන්දු හතරම Short length හි පතිත වූ අතර ලකුණු ලබා ගැනීමට නොහැකිවීම ඩිල්ෂාන්ගේ  සිත මදක් නොසන්සුන් කොට තිබිණි. අමීර්ගේ පස්වන පන්දුවද බවුන්සර් පන්දුවක් වූ අතර පීඩනයෙන් සිටි දිල්ශාන් එයට පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමත් සමඟ පන්දුව හරිහැටි පිත්තේ නොවැදුනු අතර Short fine leg සිටි ශාහ්සයිබ් හසාන් උඩපන්දුව රැක ගැනීමට සමත් විය.ඒ සමග පාකිස්ථානයේ ප්‍රේක්ෂකයන් ප්‍රිතී ඝෝශා නගන්නට අතර සමග සියලු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හදවත මොහොතකට නතර වූයේ එම කඩුල්ලේ වටිනාකම දන්නා නිසයි. 
 Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
ඒ අනුව ශ්‍රී ලංකා පිලේ ලකුණු පූවරුව ක්‍රියාත්මක වීමටත් පෙර පලමු කඩුල්ල බිඳ වැටුණු අතර පිතිකරණ අනුපිළිවෙල තරමක් වෙනස් කරමින් ජෙහාන් මුබාරක් පිටියට එවීමට ශ්‍රී ලංකාව තීරණය කළේය. නමුත් කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු දෙකක් වන විට, ජෙහාන් මුබාරක් ක්‍රීඩාගාරයට හරවා යැවීමට අබ්දුල් රසාක් සමත් විය. එතනින් නොනැවතුණු අබ්දුල් රසාක්, සනත් ජයසූරිය ලකුණු 17කටත් මහේල ජයවර්ධන ලකුණු 1 කටත් පිටියෙන් ඉවත් කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකාව දරුණු කඩා කඩාවැටීමකට ඇද දමමිනි. Power play පන්දුවාර 6 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ 34 -4 ලෙසයි.
  Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
අනපේක්ෂිතව එල්ල වූ මෙම වේග පන්දු ප්‍රහාරය හමුවේ නායක කුමාර් සංගක්කාර හා චාමර සිල්වා දැඩි පීඩනයකට පත් වුවත් ක්‍රමයෙන් ඉනිම ගොඩ නගන්නට විය. එහෙත් උමාර් ගුල් ක්‍රියාත්මක කළ දොළොස්වන පන්දුවාරයේ  චාමර සිල්වා එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රැක ගැනීමට සයීඩ් අජ්මාල් සමත් වීම නිසා පස් වන කඩුල්ල ලෙස චාමර සිල්වා ලකුණු 14කට පිටියෙන් ඉවත් විය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 67කට කඩුලු 5ක් ලෙස දිස් විය. තවත් පන්දුවාර අටක් තිබූ හෙයින්, ඇන්ජලෝ මැතිව්ස්ට පෙර ඉසුරු උදානට උසස්වීමක් ලබා දෙන්නට දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය. එහෙත් ඉසුරු උදාන ද අසාර්ථක වූයේ ෂහිඩ් අෆ්රිඩිගේ ගුග්ලි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී යාමත් සමඟයි. ඕවර 13ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 70ට කඩුලු හයක් ලෙස අවාසනාවන්ත තත්වයකට ඇද වැටී තිබිණි.
Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)

ඉන් අනතුරුව සංගාක්කාර හා මැතිව්ස් ඉවසීමෙන් පන්දුවට පහර දුන් අතර ස්ථාවර වූ පසු පාකිස්ථාන පන්දුයවන්නන්ට පිටිය පුරා පහරවල්  එල්ල කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නට විය. මැතිව්ස් හා සංගක්කාර 6 වන කඩුල්ලට නොදැවී ලකුණු 68 ක සම්බන්ධතාවයක් එක්කල අතර අවසන් පන්දුවාර පහට ලකුණු 59ක් රැස්කිරීම රැස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවසානයේදි ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකිවිනි. ඒ අනුව පන්දු වාර 20 අවසානයේ ලකුණු පූවරුව 138 - 6 දිස්විය.අවශ්‍ය අවස්ථාවේ නායකත්වයේ වගකීම මැනවින් ඉටුකළ කුමාර් සංගක්කාර ලකුණු 64ක් ලබාගත්තේ දර්ශනීය හතරේ පහර හතක් සමගිනි. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද සිය උර මත වූ වගකීම් මැනවින් ඉටු කළේ පන්දු 24කින් ලකුණු 35ක් ලබා ගනිමින්. එයට හතරේ පහර තුනක් හා හයේ පහර එකක් අන්තර්ගත විය. පාකිස්තානය තරඟයේ පළමු පන්දුවේ පටන්ම මනා සැලසුමක් මෙන්ම පාලනයක් සහිතව පන්දු යැවූ අතර ශ්‍රී ලංකා මුල් පෙල විනාශ කල අබ්දුල් රසාක් කඩුලූ තුනක් ලබාගත් අතර අමීර්, අෆ්රිඩි සහ උමාර් ගුල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබිණි.
 Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
ජයග්‍රහණය වෙනුවෙන් පකිස්ථානයට පන්දුවාර 20කදී ලකුණු  139 ක් ලබාගත යුතු අතර එය ඉතා ඉහළ ඉලක්කයක් නොවූ හෙයින් ශ්‍රී ලංකාව ජය ගැනීමට නම් ඉතා ඉක්මනින් කඩුලු කීපයක් දවාගෙන පීඩනය එල්ල කිරීම අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබිණි. එහෙත් මාලිංග, මැතිව්ස්, මෙන්ඩිස්, මුරලි ඇතුළු ශ්‍රී ලංකා පන්දුයවන්නන්  හමුවේ පාකිස්තාන ආරම්භක පිතිකරු දෙපළ වඩා ඉවසීමෙන් පන්දුවට පහර දෙන්නට විය. power play පන්දුවාර 6 අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 39 ක් ලෙස පකිස්ථානු ලකුණු පුවරුව සටහන් වූ අතර එය දැක්වුණේ, මේ තරගාවලියේ පකිස්ථානය power play පන්දුවාර 6 තුළ කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට ලබා නොදුන් පළමු අවස්ථාව ලෙසයි. 

ශ්‍රී ලංකා පන්දු බලඇණියට හොඳින් මුහුණ දෙමින් සිටි පකිස්ථාන ආරම්භක පිතිකරුවන් දෙපළ තරඟයේ ග්‍රහණය ඔවුන් අතට ගන්නා බව දිස්වීම ශ්‍රී ලංකා පිල නොසන්සුන් කරන්නට විය. මේ නිසා සනත් ජයසූරිය 8වන  පන්දුවාරය වෙනුවෙන් කැඳවීමට තීරණය කලේ ඉක්මනින් කඩුල්ලක් ලබා ගැනීමේ අටියෙනි. සනත් යැවූ පළමු පන්දුවටම සීමාවෙන් ඉදිරියට පැමින පහරක් එල්ල කිරීමට කම්රන් අක්මල් උත්සාහ දැරූ අතර කඩුලු රකින සංගාක්කාර අගනා ස්ටම්ප් කිරීමක් ලබාගැනීමට සමත් විය. ඒ වන විට පාකිස්තාන ලකුණු පූවරුව 48-1 ලෙස දැක්වූ අතර එයින් ලකුණු 37ක්ම අක්මල් පමණක් ලබා තිබුණේ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින්. 
  Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
අවසන් පූර්ව තරගයේදී මෙන්ම අංක 3 පිතිකරු ශාහිඩ් අෆ්රිඩිට උසස් වීමක් ලබාදීමට පකිස්තාන කණ්ඩායම තීරණය කර තිබිනි. එයට තවත් හේතුවක් වූයේ ඔහු අමතක නොවන ප්‍රහාර කීපයක්ම ශ්‍රී ලංකාවට දියත් කොට තිබීමත් නිසාවෙන්. 10 වන පන්දුවාරය ක්‍රියාත්මක කර මුරලිදරන් ගේ පන්දුවට ෂහ්සහීබ් හසන් එල්ල කළ ස්ලොග් ස්වීප් පහරින් ගුවනට මුසු පන්දුව ජයසූරිය රැක ගැනීමත් පාකිස්තානයේ දෙවන කඩුල්ල බිඳ වැටිණි. ඒ වන විට පකිස්තාන ලකුණු පුවරුව 63-2 වූ අතර ඊළඟ පිතිකරුවා ලෙස ශොයිබ් මලික් පිටියට පිවිසියේය. අවසන් පන්දුවාර 10ට ලකුණු 74ක් පකිස්ථාන‍යට අවශ්‍යව තිබූ අතර ශ්‍රී ලංකාව ලබාගත් ග්‍රහණය දැඩි කරමින් තවත් කඩුලු කීපයක්ම ඉක්මනින් ලබා ගැනීම අවශ්‍ය වී තිබිණි. 
එහෙත් 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කර මුරලිදරන්ට අෆ්රිඩි Midwicket කලාපය හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කළ අතර ඉන් නොනැවතී ඊළඟ පන්දුව Extra cover  කලාපයෙන් හතරේ සීමාවට යොමු කලේ සියලු පකිස්තාන ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට  පත් කරමින්. ඉන්පසු පන්දුවාර තුන ක්‍රියාත්මක කල මාලිංග හා මෙන්ඩිස් යම් පාලනයකින් පන්දු යැවූ අතර අවසන් පන්දුවාර 3 ට පාකිස්තානයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 26ක් අවශ්‍යව තිබිණි. නායක සංගක්කාර 18 වන පන්දුවාරය වෙනුවෙන් පන්දුව ඉසුරු උදානට භාරදුන්නේ ඒ වන විටත් මුරලිට අෆ්රිඩි එල්ල කොට තිබූ ප්‍රහාරයත් සමගයි. කෙසේ වෙතත් ඉසුරු උදාන වේගය අඩාල කොට යැවූ 4 වෙනි පන්දුවට ෂහිඩ් අෆ්රිඩි Mid wicket කලාපයෙන් දැවැන්ත හයේ පහරක් එල්ල කළ අතර එයට පකිස්ථාන ප්‍රේක්ෂකයන් ඔල්වරසන් දුන්නේ "Boom Boom අෆ්රිඩි" ලෙසින්. එයින් තරමක් පීඩනයට පත්වූ ඉසුරු උදාන යැවූ ඊළඟ පන්දුව ඉනටත් ඉහලින් පැමිනි ෆුල්ටොස් පන්දුවක් වූ අතර එය Short fine leg කලාපයෙන් හතරේ සීමාව කරා යොමු කළේ තරඟයේ ජයග්‍රහණය අත පොවන මානයට කැඳවාගෙන එමින්. 
 Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
ඒ සමගම අෆ්රිඩි පන්දු 37 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කලේය. එය හතරේ පහර 2කින් හා හයේ පහර 2කින් වර්ණවත් විය. එම පන්දුවාරයෙන් ලකුණු 19ක් ලබාගැනීමට පකිස්ථානු පිතිකරුවන් දෙපළ සමත්වූ අතර ඉතිරි පන්දු 12ට ලබාගැනීමට අවශ්‍ය තිබුණේ ලකුණු හතක් පමණි. 19වන පන්දුවාරය ක්‍රියාත්මක කල මාලිංගගේ 5වෙනි පන්දුවට අෆ්රිඩී ලකුණක් කරා පැති මාරු කර ගැනීමත් සමග පකිස්ථානයේ ලෝක කුසලාන ජයග්‍රහණය සනිටුහන් විය. තරගයේ වීරයා සම්මානය  සහිඩ් අෆ්රිඩි දිනාගත් අතර තරගාවලියේ වීරයා වූයේ තරගාවලිය පුරාම ලකුණු 317ක් ලබා ගනිමින් සාමාන්‍ය 52.83 රඳවා තබාගෙන තිබූ තිලකරත්න ඩිල්ශාන්ය. ඒ අනුව 2009 ලෝක කුසලානයේ අනුශූරතාවෙන් සෑහීමකට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එය ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද වේදනාත්මක සිදුවීමක් විය. 
  Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)
පරාජයට පත්වූ සියලු ලෝක කුසලාන අතුරෙන් කණගටුදායකම ලෝක කුසලානය ලෙස මා දකින්නේ මෙම 2009 ලෝක කුසලානයයි. එයට හේතුව ශ්‍රී ලංකාව තරගාවලිය පුරාම අපරාජිතව සිටි අතර සුපිරි 8වටය තුලදීත්  පකිස්ථානයද පහසුවෙන් පරාජයට පත්කර තිබූ පසුබිමක අවසන් මහා තරගය ඛේදනීය ලෙස පරාජයට පත් වීම නිසයි. කෙසේ වෙතත් ත්‍රස්තවාදයෙන් බැට කමින් සිටි පකිස්ථානයට 2009 ලෝක කුසලාන ජයග්‍රහණය ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද මිල කළ නොහැකි ත්‍යාගයක් විය. එය කෙතරම් හැඟිම්බර මොහොතක් වීද යත් රමීෂ් රාජාගෙන් අදහස වූයේ එය 1992 ලෝක කුසලාන ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් ලෙස දැනුනු බවයි. 
 Image Courtesy - (https://www.espncricinfo.com/wt202009/content/image/index.html?object=356017)

කෙසේ නමුත් තවත් ලෝක කුසලාන අවසන් මහා තරඟයක් පරාජයට පත්වෙමින් අනුශූරතාවයෙන් සෑහීමට සිදුවුවත් තරඟාවලිය පුරා සිංහයන් තැබූ සලකුණ අදටත් සදා අනුස්මරණීය මතකයකි. "Dilscoop" පහර මෙන්ම හතරේ සීමාවෙන් එපිටට ගොස් පන්දු රැකීමේ කලාව අදටත් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවතීම එයට කදිම නිදසුනකි.
හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19