The Bliss of Vesak amidst the curfew

වෙසක්  පොහොය ලෝකවාසී බෞද්ධ ජනයා විසින් සමරනු ලබන උතුම් උත්සවයකි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය හා මහා පරිනිර්වාණය යන ත්‍රිවිධ කාරණා නැතහොත් තෙමඟුල සිදුවූයේ මෙවන් වූ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදීය. එම උතුම් කාරණා සිහිගන්වමින් ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනයා මෙම පොහොය දිනය බැති සිතින් යුතුව ආමිස හා ප්‍රතිපත්තිමය පූජා ඉටුකරමින් සමරනු ලබනවා. අද මෙම ලිපිය තුලින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය පිළිබඳව හෝ එහි වැදගත්කම පිළිබඳව හෝ කතා කරනවා වෙනුවට වර්තමාන සමාජය මෙම වෙසක් පොහොය සැමරූ ආකාරය හා අද මේ කොරොනා  වසංගතය  හමුවේ එය සමරන ආකාරය පිළිබඳවත්  තොරතුරු ගෙන ඒමට සිතුවා.








ඇඳිරිනීතිය අතුරින් ගලනා වෙසක් සදකැන්
ඉතිහාසය පවා ගොඩනැඟී ඇත්තේ අතීතය දෙස බලා වර්තමානය සකස් කරගැනීම තුළිනි. එ නිසා වර්තමානය ගැන කතා කරන විට අතීතය ගැනත් අනිවාර්යයෙන්ම කතා කළ යුතුවනවා. අතීතයේ සෑම සංසිද්ධියක්ම පාසාම පැවතුනේ සරලකම, මෘදුබව, අව්‍යාජ බව යන සංකල්පයන්ය. එනිසාම එදා මුතුන් මිත්තන් මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සරල බවින්, ආගම කෙරෙහි ගොඩනගාගත්  ගෞරව බැති සිතින් යුතුව තම සීලය රකිමින් සමරනු ලැබුවා. ඔවුන් ළඟ තිබූ සැබෑ බැති සිත නිසාම ඔවුන් සෑමවිටම පාහේ ප්‍රතිපත්තිමය පූජා වලට වැඩි වැඩියෙන් නැඹුරු විය. තිදොරින් කෙරෙන අකුසල්වලින් වැළකී, කුසලයන් හි යෙදී, අටසිල්-දසසිල් සමාදන් වෙමින් ඔවුන් දහමට නැඹුරුව කල් ගෙවූහ. තවද ඒ මිනිස් සිත්වල තිබූ සරල බව නිසාම වෙසක් දිනයෙදී පන්සල් මළුවේ, තම නිවාසවල හා මංමාවත් පුරාවටම පහන් දල්වා පරිසරයම ආලෝකවත් කර ඇත.  මෙම පහන් දැල්වීම තුළ ඔවුන් අවබෝධ කරගත් දහම් කරුණු ද පැවැතුණා. පහනක් දල්වා එය හොඳින් ආලෝකවත් වී අවසානයට එය නිවී යන ආකාරය දෙස බලා, මේ මනුෂ්‍යයා නමැති සත්ත්වයා මේ ලෝකයේ ඉපදී දුක් විඳ අවසානයේ දී මරණයට පත්වන ආකාරයත්, සියල්ලෙහිම පවතින නැසෙන සුළු භාවයත් ඔවුහු අවබෝධ කර ගත්හ.
එසේම තමාට හැකි ලෙස ඔවුන් පහන් කූඩු තම නිවෙස් වලම සකස් කළහ. අපි කොයි කවුරුත් හදුනන වෙසක් කූඩු වල නිවැරදි නාමය බවට පත්වනුයේ පහන් කූඩු යන්නයි. එලෙස නම් තබා ඇත්තේ අසීරුවෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා නිර්මාණය කරන පහන් කූඩුව දැල්වූ විට ඒ දෙස බලන කොයි කාගේත් සිත් මොහොතකට නිවී පහන් වන  නිසාවෙනි. ව්‍යාජ සැදැහැවත් භාවයක් වෙනුවට අව්‍යාජ සැදැහැවත් භාවයෙන් නියම බෞද්ධයන් ලෙස ඔවුන් නිතර නිතර දාන, සීල, භාවනවල යෙදුණු බවට අදටත් සාක්ෂි පවතිනවා. මෙමගින් පෙනී යන්නේ ඔවුන් සැමරූ වෙසක් පොහොය තුළත් සැබෑ අරුතක්, ධාර්මිකභාවය ගැබ්ව පැවති බවයි.
අපි කොයි කවුරුත් දන්නා ලෙසට ලෝකය කිසිදා එකම තැනක පවතින්නේ නැහැ. මිනිසා නැමති මේ අපූර්ව සත්ත්වයාගේ නව අදහස්, නව නිර්මාණ හා නව සොයා ගැනීම් හමුවේ අද වන විට මුළු ලෝකයම තාක්ෂණය හා මුසුවී නවමු මාවතකට පියමන් තනනවා. තාක්ෂණය කෙතරම් මිනිසාට සමීපද යත් දැන් අපට එය නැතිව බැරි මූලික අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා තාක්ෂණයත්,  වාණිජකරණයත් අපගේ ආගමික උත්සව පවා ආක්‍රමණය  කිරීම පුදුමයට පත් වීමට කාරණයක් නම් නොවේ. එහෙත් මෙහි අඳුරු පැතිකඩද නැතිවාම නොවේ. පෙර සඳහන් කළ අතීත වෙසක් දිනයේ සැබෑ අරුත මේ සමාජය තුළින් ගිලිහී යන්නේ ද මේ අඳුරු බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙසය. මිනිසුන් මවාගත් ව්‍යාජ සැදැහැති සිතින් තමන්ගේ තත්ත්වය පෙන්වීමට වෙසක් පෝයත් යොදා ගන්නා බවට විසිඑක් වන සියවස නොඅඩුව සාක්ෂි සපයනවා.
වර්තමානයේ දී තමන් විසින්ම නිර්මාණය කරන පහන්කූඩු පවතින්නේ ඉතා අල්ප වශයෙනි. ග්‍රාමීය ජනයා මේ ක්‍රියාවේ නිරත වූවත් නාගරීකරණය තුළ වෙළඳසැල්වලින් මිලදීගත පහන් කූඩුවක් තම නිවසේ දැල්වීම සිදුකරයි. ඇතැමුන් මෙය එසේ හෝ නොකරන තත්ත්වයකට අද  පත්ව තිබෙනවා.  තවත් සමහරුන් තරග ජයග්‍රහණය උදෙසා පමණක් මෙම ක්‍රියාවන් හි නිරත වනවා. නමුත්,  පහන් කූඩු සෑදීම අභාවයට යන මොහොතක තරගයක් නිසා හෝ එය ඉටුකිරීම එක්තරා ලෙසින් වටිනා යැයි මට සිතෙනවා. එහෙත්  මේ සියලු දේ තුළින් මෙහි පවතින සැබෑ අරුත ගිලිහී යනවා නොවේද? වෙසක් පොහොයට සියලු විහාරස්ථා අතුරු සිදුරු නැතිව උපාසක උපාසිකාවන්ගෙන් පිරී ගියත් ඉන් බොහොමයකගේ සිත් පිරී ඇත්තේ නම් දාන, ශීල, භාවනා ආදී කුසලයන්ගෙන් නම් නොවේ. මේ අතර වෙසක් පෝයට හෝ තම පන්සල මතක් නොවන පිරිසක් ද අප අතර සිටිනවා. වාණිජකරණය වූ ලෝකය තුළ උතුම් වෙසක් පොහොයත් වෙළෙඳාමක් බවට පත්ව ඇති ආකාරය වෙසක් මාසය ළඟ එන විට කරලියට එන වෙසක් වෙළඳසැල් සාක්ෂි දරනවා. පහන් කූඩුව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වනවිට, විකාරරූපී වෙස්මුහුණු හා විවිධ ශබ්ද නගන නලා වලට වැඩි ඉල්ලුමක් තාරුණ්‍ය තුල බිහිවී පවතිනවා.


වෙසක් පොහොය දා රාත්‍රියේ දී මේ සියල්ල කලඑළිබසිනවා. තරුණ තරුණියන් තම වාහනවල නැගී, වෙස්මුහුණු දමාගෙන විවිධ ශබ්ද නගමින් වීදි පුරා ඝෝෂාකාරී ලෙස සංචාරය කරනවා. බුද්ධ චරිතය, ජාතක කතා දිස්වන තොරණ් අසල ඒ උතුම් චරිතටද නිග්‍රහ වන ආකාරයට මුළු වෙසක් පොහොය ම එකම සැණකෙළියක් බවට මොවුන් පත්කරගෙන තිබෙනවා.  බහුතරයක් මෙලෙස සිදු කරද  තවත් සුලුතරයක් නියම ආකාරයෙන් වෙසක් පොහොය සැමරුවත්, වෙසක් පොහොයේ සැබෑ අරුත මෙයද?  ඔබටත් මටත් සිතන්නට යමක් මෙය ඉතිරි කරනවා.
මෙම ලිපියෙහි මාතෘකාව දෙසට දැන් ඔබගේ අවධානය ගෙන යාමටයි මේ උත්සාහය. "ඇඳිරි නීතිය අතුරින් ගලනා වෙසක් සදකැන්"  මේවන විට මුළු ලෝකයම කොරොනා නැතහොත් කෝවිඩ්-19  නැමැති බිහිසුණු වෛරසයකට මුහුණපාමින් සිටිනවා. මෙම වෛරසය හමුවේ ලෝකයෙහි බොහෝ දෙනා මෙම වෛරසයට ගොදුරු වෙමින්  පවතිනවා.  ඒ හා සමානවම මරණ සංඛ්‍යාවත්  දිනෙන් දින වැඩිවෙනවා. මෙහි  බලපෑම් ලංකාවටත් ලගා වී ඇති බව ඔබත් මමත් දන්නා කරුණක්. මේ තත්ත්වය හමුවේ මෙය පාලනය කිරීමට  මුළු ලංකාවටම ඇදිරිනීති සමයක් ක්‍රියාත්මක වෙමින් පවතිනව. මෙනිසා ලංකාවාසී බෞද්ධ ජනයාට මෙවර වෙසක් පොහොය සැමරීමට සිදුවන්නේ ඇඳිරිනීතිය සමග තම නිවාස වලට කොටු වීම තුලය.  මේ දිනවල මේ තත්වය නිසාම නිතර නිතර සවන් වැටෙනුයේ " මේ ඇදිරිනීතිය සමග වෙසක් සැමරිය  හැකිද?" සැමගේම සිත් වල මෙම ගැටලුව නම් නිසැකයෙන්  සනිටුහන්  වී ඇති බව නම් සහතිකයි. ඇතැමුන් රෝගාතුරවී, ඇතැමුන් නිවසින් එළියට හෝ යාමට නොහැකිව තම නිවෙස් තුළම කොටුවී,  තවත් සමහරුන් මේ තත්ත්වය  නිසා විවිධ  ආර්ථික අපහසුතාවයන්ට මුහුණ පා තිබෙනවා. මේ තත්ත්වයන් නිසා පෙරදා අපි සැවොම බොරු ආටෝපයන් ගැබව සැමරූ වෙසක් දිනය නම් සැමරීමට කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැත.  නමුත් මේ තත්ත්වය හමුවේ සියලු දෙනා පාහේ තමන්ගේ හුදු ආටෝප වලින් බැහැරව සැබෑ ලෝකයට පිවිසි ඇති බව මේ සිදුවන සිදුවීම්වලින් පැහැදිලි වනවා.  තමාගේ නිවෙස්වලම වගා කටයුතු සිදු කිරීම,  නව නිපැයුම් සිදුකිරීම,  පවුල සමඟ එකට වාසය කිරීම මේ අතර ප්‍රධාන වෙනවා. මේ නිසා මට හැඟීයනුයේ මෙවර වෙසක් පොහොය සැබෑ ලෙසම,  සැබෑ සැදැහැති භාවයෙන් හා වෙසක් පොහොය දිනයේ සැබෑ අරුත දකිමින්  සැමරීමට හැකි බවයි.
තම නිවාස වලට වී සිටින විට බොහෝ දෙනෙකුට මින් පෙර නොකෙරූ, අමතකව ගොස් තිබූ පහන් කූඩු සෑදීම ඔබටම සිදු කළ හැකිය. නිවසේ සියලු දෙනා සමඟ එක්ව සාමූහිකව, බැතිබර සිතින් යුතුව මෙම උතුම් ක්‍රියාව ඔබට සිදු කළ හැකි. පහන් දල්වා ලෝකයේ අනියත භාවය ඔබ සියලු දෙනාටම තමන්ගේ නිවෙස්වල සිට ම මෙනෙහි කිරීමටද අවස්ථාව හිමිවනවා. ලෝකයාට පෙනෙන්නට පින්දහම් කරනවා වෙනුවට තමාට අතිරේකව ඇති ආහාරපාන තිබේ නම් තම අසල්වාසීන්ගේ දුක් කරදර ගැන සොයා බලා ඔවුනට ඒවා අවශ්‍ය නම් දන් දිය හැක.  

බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට මහා පරිමාණ දන්දීම් හා කුඩා ප්‍රමාණයේ දන්දීම් වල ඇත්තේද එක හා සමාන ආනිශංසය. දෙන ඕනෑම දෙයක් හිත සතුටින් ලබා දෙන්නේ නම් එහි ප්‍රමාණය කුමක් වුවත් ඔබට දානමය කුසලය ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වෙනදාට විවිධ ඝෝෂාවන්ගෙන් සැණකෙළි පුරයක් වූ වෙසක් අසිරියට තිත තබා. නිස්කලංක භාවයකින් යුතු සැදැහැබර වෙසක් අසිරියක සිරිය ඔබට අත්විදිය හැක. තමන්ගේ වෙසක් සුබ පැතුම වෙනදාට වෙළඳසැලින් මිලදී ගන්නා සුබපැතුම්පත් වල ඇති සුබපැතුම වෙනුවට තම කාව්‍යමය හැකියාවන්ගෙන් නිර්මාණය කරගත් වෙසක් සුබ පැතුමක් බවට පත් කරගැනීමේ අවස්ථාව ඔබ සතුයි. වෙනදාමෙන් සියලු දෙනා සමඟ එක්ව පන්සල වෙත යාමට නොහැකි වුවත් නිවසේදීම සිල් සමාදන් වී ඔබට කුසල් දහම් රැස් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තිමය පූජාව වඩා උතුම් කොට සැලකෙනවා. එනිසා ජීවිතයේ කිසිදු දිනයක දී හෝ සිල් සමාදන් වී නොමැති ඔබටත්,  හැමදාම පුරුද්දක්ව සිල් සමාදන් වන ඔබටත් තම නිවසේදීම තම සිත, කය, වචනය සංවර කර ගනිමින්, භාවනාවෙහි නිරත වෙමින්, අකුසලයන්ගෙන් වැළකී, කුසලයෙහි යෙදිය හැකි ය. එය ඔබේ මෙලොව මෙන්ම පරලොව ජීවිතයත් සාක්ෂාත් කරගැනීමට උපකාරයක් වනු ඇත. මේ ආදී ක්‍රියා නිසා මෙම කොරොනා  වෛරසය,  වෛරසයක් ලෙසින් මිනිසා වෙත පැමිණි ආශිර්වාදයක්දෝ කියා මට සිතෙනවා. එනිසා ඇඳිරිනීතිය හමුවේ හුදකලාව සිටියත් ඔබට සැබෑ අරුතින් යුතු වෙසක් පොහොයක් සැමරීමට අවස්ථාව හිමිවී තිබෙනවා. මේ නිසා ඔබ සියලු දෙනාටම බැති සිතින් යුතුව ආරාධනා කර සිටිනවා තම ජීවිත කතාවේ නව පිටුවක් පෙරළමින් බොරු ආටෝපයන්ගෙන් වෙන් වී, ව්‍යාජ භාවයන්ගෙන් තොර වූ, සැබෑ බැතිබර සිතින් යුතු ව, කුසල් දහම් වඩනමින් මේ උතුම්  වෙසක් පොහොය නිවසේ සිටම සමරන ලෙසට. අප සියලු දෙනා එකට එක්ව අපෙන් ගිලිහී ගිය වෙසක් පොහොයෙහි සැබෑ අරුත නැවතත් අප වෙත ළඟා කරගනිමු. ඔබ සියලු දෙනාටම නිරෝගිමත්, බැතිබර වෙසක් පොහොය දිනයක් වේවා!

ගයත්‍රි හත්තොටුව 
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...


















                                        

















Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19