කොරෝනා කාලේ ආලේ - Love in Corona

"ආදරය"..ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා.  අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න...
 


ඇය කොළඹය. මා රජරටය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් කොළඹ ජීවිතය ඇරඹූ මට අම්මාගේ බත්මුලේ රස දැනෙන්නට පටන් ගත්තේ හාල්මැස්සෝ හොද්දේ හාල්මැස්සෝ සෙවීමට පිහිනීමට ත් ඉදහිට යහළුවන් සමග එක් ව කෑමට ගත් චිකන් කොත්තුවට කුකුළා ගෙදරින් ගෙනඒමටත් සිදු වූ විටය. සල්ලිකාර පවුලක අයකු නොවූවද, මාගෙත් අම්මාගේත් තාත්තාගේත් බඩවල් පිරවීමට තාත්තාගේ රැකියාව ප්‍රමාණවත් විය. උසස් පෙළින් පසුව කෙටි කාලයක් රු.10,000 පඩියට බැංකුවේ රැකියාවට ගිය , විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු ලද බව ඇසූ දින සිට තාත්තා කීවේ " අවුරුදු 20ක් උඹට කන්න දුන්නා නම් තව 4ක් දෙන්න බැරිකමක් නෑ. උන්ට උඹව හූරගෙන කන්න නොදී මේ හිටපු විදියටම ඉදලා උපාධිය හොදටම කරගනින්" කියාය.
 
එලෙස කොළඹ ජීවිතයට පංගාත්තු වූ මම කොළඹ අහස යට හුස්ම ගන්නට හුරුවීමි. නාගරික පරිසරයේ පිපුණු මලක් වූ ඇය වෙත මගේ ආකර්ෂණය වැඩිවූයේ ආදරයට වඩා කටට රසට කන්න බත් කටක් ලැබීම නිසා දැයි විටෙක මට සිතුණි. කෙසේ හෝ එම ආදරය විදින්නට ලැබුණේ මාස දෙකක් පමණි. කොහේදෝ සිට පැමිණි චීනෙකුගේ වවුල් කෑමක රාමතෙල් හරින්නට සිදුවූයේ නේවාසිකාගාර වැසීමත් සමග පෙරලා ගමට යාමට සිදු වූ බැවිනි.
ඇය නාගරික පන්නයට හුරුවූ දගකාරියකි. 
"වැලන්ටයින් එකට මාව බලන්න එනවා නේද?" යැයි ඇසූ විට "හා" කීවත් මොනවද දෙන්නේ යැයි ඇසූ විට මම ගොළු වීමි. කොරෝනා නිසා තාත්තාට OT නැත. තිබ්බද කරන්නට හයියක් නැති බව පෙනේ. මාස දෙකකින් නොදැකපු නිසාදෝ මවුපියන් වැහැරුණු බවක් පෙනේ. පාඩම් අමාරු බව පවසා ගෙදර නොගිහින් ඇය සමග CCC, One Galle Face ඇවිදින්නට වියදම් කළේ චැලියෙන් වැඩට යන තාත්තා බව මතක් වන විට කාපු ඒවා දැන් පවා උගුරට එන්නාක් වැනිය.
 

කෙසේ හෝ ඇයව බලන්නට යා යුතුමය. නැත්තම් ඇය මිතුරියන් ඉදිරියේ ලැජ්ජා වී මට බනිනු නොඅනුමානය. ඇය සමග CCC , One Galle Face යාමට තියා කොළඹ ඒමටවත් මා ළග මුදල් නොමැත. කෙසේ හෝ ගෙදරින් ඉල්ලා ගත යුතුමය.
 
"අම්මේ මං අර කරපු කෝස් එකේ විභාගෙට සල්ලි බදින්න පුළුවන් අන්තිම සතියනේ මේ. මං මේ ඉරිදා ගිහින් එන්න බැලුවේ.
"කීයක් යයිද චූටි පුතා?"
"හයදහස් ගාණක් කියලා තමා කිව්වේ."
"හරි මං තාත්තාට කියන්නම්. පුතා ඉරිදාට ගිහින් බැදලා එන්න."

මට ගෙදරට හොරෙන් ලව් කිරීමට වූයේ නැත. මන්ද යත්, අම්මලට වැලන්ටයින් දිනයක් තබා පෝයක් ගැනවත් නිනව්වක් නොවූ බැවිනි. පෝය යනු තාත්තා වැඩිපුර කීයක් හරි හොයාගන්න මේසන් වැඩ කරන දිනයයි. කෙසේ හෝ ඇයත් සමග හෙට කොළඹ වටේම යාමට හීන මවමින් තෙත පැල්ලම් කාන්දු වීම නිසා සෙවල බැදුණු ඇස්බැස්ටෝස් ෂීට් අතරින් ඇගේ මුහුණ මැව්වෙමි.



"හයදාහක්ම යනවලු ද?"
"ඊට වඩා යයි ද දන්නෙත් නෑ මහත්තයා...කොහොමහරි ගෙවන්න එපැයි"
"ඇඩ්වාන්ස් ගන්න පුළුවන් වුණෙත් 3000යි. කොරෝනා නිසා කොම්පැණියටත් විකිණෙනකන් ඇඩ්වාන්ස් දෙන්න බෑලු"
"ඒනම් මා ළඟ තියෙන 3 000 දෙමු මහත්තයා..වෙලාවට අද පාමසියට යන්න බැරි වුණේ.."
"එතකොට ඔයාගේ හති බෙහෙත?"
"ලබන මාසේ පඩි හම්බුණාම ගන්න බැරියැ..පුතාගේ විභාගෙකට නේ"
"අනේ මන්ද .... මේ පාර පඩියෙන් ඉතුරු වෙයි ද කියල..අර චැලියත් මං පදිනවට වඩා කරන්නේ තල්ලු කරන් යන එක..ඒකත් මං වගේම වයසට ගිහින්..සෙරෙප්පු දෙකටත් මීට වඩා නම් මැහුම් දාන්න බෑ කියල සපත්තු හදන එකා කිව්වා..ඒ සේරම අස්සේ මේ පොල් අවාරේ ගෙඩියක් 120ක් නෙ දෙයියනේ... වෙලාවකට මට හිතෙනව හාමිනේ අපි ජීවත්වෙන්න රස්සාව කරනවා ද නැත්නම් රස්සාව කරන්න ජීවත් වෙනවා ද කියල"



"තව අවුරුදු තුනයි මහත්තයා ඊට පස්සේ...පුතා අපට වාසනාව ගෙනෙයි."
"ඔව් හාමිනේ....කොල්ලා අපිව ගොඩ දායි. මං හෙට එනගමන් මොනවහරි වැඩක් හොයාගන්න බලන්නම් හති බෙහෙත ගන්න..ඕක කොල්ලට දෙන්න."


"හී... නිදි දෝ????? මතකනේ චන්කි චොක් 12 එකක් ඕනේ..."



අරුණෝද්‍යා පාවුලුආරච්චි



අපි මේ  වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.



මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com



එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


Comments

  1. මෙහෙම හිතන්න පුලුවන් තරුණ තරුණියො දැන් ඉන්නවා කියලා දැනගත්ත එකත් සතුටක්.ජීවිතේ යථාර්තය අමතක කරමින් පුහු ආටෝප එක්ක ජීවත්වන පුයර බබාලාට හිතන්න දෙයක් දීම ගැන ස්තුතියි .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19