1996 Wills World Cup - Episode 01 (SL vs AUS)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් අද එහි ආරම්භය. 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගන්න අපි තීරණය කලා. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන පුද්ගලයෙක්. ඉතින් අපි එකතු වෙමු 1996 තරඟයේ මතක එක්ක...
ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම ඕනෑම රටකට, කණ්ඩායමකට අමරණීය අත්දැකීමක්  බව අමුතුවෙන් කිව යුතු නොවේ.  ලෝක කුසලාන  තරඟාවලියක ක්‍රීඩා කිරීමම  ක්‍රීඩකයන්ගේ සිහිනයකි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙස සැලකූ මහා බ්‍රිතාන්‍යයේ දායාදයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට ලැබුනු අතර  1996 දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන තුරුම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව ලෝකයේ පමණක් නොව ලාංකීය ප්‍රේක්ෂකයන්ගේද ඉහල අවධානයට ලක් වුණේ නැත. 1975 සිට පැවති ලෝක කුසලාන තරඟාවලි පහම ශ්‍රී ලංකාව නියෝජනය කලත්, ඒ හැම තරඟාවලියකදීම මුලික වටයෙන්ම ගෙදර එන්නට වුනු, ශ්‍රී ලංකාව 1996 ලෝක ශූරයන් වීම බොහෝ දෙනෙක් දුටුවේ අහම්බයක් ලෙසය. නමුත් 1996 ජයග්‍රහණය ගොඩනැගුනේ ක්‍රීඩකයන් ගේ අසීමිත කැපවීම, මනා සැලසුම්, වාසනාව, නොපසුබට ධෛර්යය හා විශ්වාසය මතය. මේ ඒ පිලිබඳ කතාවයි. මේ ලිපිය තරමක් දීර්ඝ වුවත් අවසානය තෙක් කියවන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඒ "Ceylon tea" වලින් පසුව ශ්‍රී ලංකාව ලෝකයේ අවධානය දිනා ගත්තේ 1996 ක්‍රිකට් ලෝක ශූරයන් වීම නිසාය.

1996 දී ලෝක කුසලාන තරගාවලිය  ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි කර දෙමින් රටවල් 12 ක් අතර තරඟ 38ක් පෙබරවාරි 14 සිට මාර්තු 17 දක්වා පැවැත්වීමට තරග සංවිධායකයන්  සැලසුම් කර තිබිණි. A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා කෙන්යාව ලෙසත්  B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය,පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා නෙදර්ලන්තයත් ලෝක කුසලානය වෙනුවෙන් බලාපොරොත්තු තබා කඳවුරු බැද ගෙන සිටියහ.
ලෝක කුසලානයට පෙර පැවති  බෙන්සන් සහ හෙජස් තරඟාවලියේ ඕස්ට්‍රේලියානුවන්ගේ උපහාස, අවමාන වලට මෙන්ම මුරලිදරන් පන්දුව දමා ගසන බවටද චෝදනා හා කුපිත කිරීම් වලට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්නට සිදු වූ අතර එමෙන්ම ලෝක කුසලානයේ දින ළං වෙද්දී කොළඹ දී පුපුරා ගිය බෝම්බ  ප්‍රහාරයක් නිසා බ.ඉ.කොදෙව් සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග දෙකම වර්ජනය කිරීම වැනි දුශ්කර අත්දැකීම් රැසකට ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට විය. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කන්ඩායම මුහුණ දුන් දුෂ්කරතාවයන්, පන්නරයක්  බවට පත් කරගනිමින් තරඟාවලියේ ඉදිරියටම යන්නට සමත් විය. 
සනත් හා කළුවිතාරණ ගේ මුල් පන්දුවාර 15 වේ ආක්‍රමණශීලී පිතිහරඹය හා මැදපෙලේ අත්දැකීම් සහිත පිතිකරණය සමග වේග පන්දු යවන්නන් ගේ සහයෝගය මෙන්ම සවිමත් දඟ පන්දු බල ඇනියේ දක්ශතා සමගින්  ඉන්දියාව සමග  අවසන් පූර්ව  තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේය. මාර්තු 13 කොල්කටා ඊඩ්න් ගාඩ්න්  පිටියේදී සුවහසක් ඉන්දීය ප්‍රේක්ෂකයන් හඬවමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව පරාජයට පත් කල  අතර අවසන් මහා තරඟය සඳහා වරම් ලබා ගැනීමට හැකිවිනි. ඉන්දියාවට එරෙහිව ලත් ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව සුභ පැතුම්, ප්‍රශංසා ලොව නන් දෙසින් ගලා එන්නට විය. එහෙත් එකල ක්‍රිකට් ලොව රජ කළ ඕස්ට්‍රේලියානුවන් පරාජය කිරීමට, ශ්‍රී ලංකාවට හැකි වෙතැයි බොහෝ දෙනෙක් සිතුවේ නැත.
ලෝක කුසලානය යනු ක්‍රිකට් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යයයි. එමෙන්ම ලෝක කුසලාන අවසාන මහා තරඟය යනු දක්ශතාවයේ හා පීඩනයේ උපරිම අවස්ථාවයි. ගත යුතු තීරණ සියල්ලව නිවැරැදිව ගත යුතුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ  ලාහෝර් නුවරට පැමිණියේ අවසන් මහා තරගයට  දින තුනකට පෙර වූ අතර,  එය මහඟු අවස්ථාවක් ලෙස දුටු අර්ජුන රණතුංග එදිනම රාත්‍රියේ ලාහෝර්  පිටිය නිරීක්ෂණය කිරීමට තීරණය කලේය. ඒ අවසන් තරඟයේ සැලසුම සකස් කිරීමටයි.ඒ මොහොතේ රාත්‍රී 7.30 පමණ වූ අතර පිට්ටනිය යම් තෙත සහිත ස්වභාවයකින් යුක්ත වීම අර්ජුන ගේ සිතේ යම් චකිතයක් ඇති කරන්නට සමත් විය. ඒ මොහොතේ අර්ජුන, ඔහු සමඟ මිත්‍ර වූ ground boy ට පැවසුවේ "අපි හෙට රෑටත් එනවා, පිට්ටනිය ට වතුර දාන් නැතිව තියන්න."  ඒ මොහොතේ ground boy  පිලිවදන් දෙමින් "මහත්තයා, මේ දවස් වල රෑට පින්න වැඩියි. රෑට බෝල් කරන එක ටිකක් අමාරු වෙනවා" යැයි පැවසීය. ඉන්පසුව ලාහෝර්  පිටියේ තත්ත්වය, තනතිල්ල  වෙනස්වී ඇති ආකාරය, සීතල, සුළඟේ හැසිරීම් ඇතුළු වැදගත් තොරතුරු රැසක් ground boy ගෙන්  අර්ජුනට දැනගන්නට හැකිවිය. එයත් සමඟ අර්ජුන තීරණය කලේ කාසියේ වාසිය ලැබුනොත් දෙවනුව පන්දුවට පහර දීමටයි. එහෙත් මේතාක් ලෝක කුසලානයක අවසන් තරඟයේදී දෙවන වර පන්දුවට පහර දී කිසිම කණ්ඩායමක් ජයග්‍රහණය කර නොතිබීම නිසාත්,  ලාහෝර් පිටියේ පැවැත්වෙන ප්‍රථම දිවා රාත්‍රි ක්‍රිකට් තරගය මෙය වූ  බැවිනුත් අර්ජුන මදක් දෙගිඩියාවට පත් විය.
මාර්තු 17 උදා වීමත් සමඟ  ලොවපුරා ප්‍රේක්ෂකයන් ගේ අවධානය යොමු වුනේ ක්‍රිකට් සැනකෙළියේ අවසන් රංගනය වෙතයි. අවසන් මහා තරඟය පැවැත්වෙන දිනයේ උදෑසන ශ්‍රී ලංකා පිලේ අවසන් කණ්ඩායම් රැස්වීම පැවැත්විනි. අවසන් තරගයෙන් ජය ගත යුත්තේ කෙලෙසදැයි එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. කෙසේවුවත් ඒ දක්වා තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව හොඳින් ලකුනු හඹා ගිය කණ්ඩායමක් වූ නිසාත්, පින්නේ බලපෑම නිසාත්, අවසන් තරගයෙදීත් හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබීය. උපාය වශයෙන් ශ්‍රී ලංකාවට හුරු පුරුදු ලෙසම ක්‍රීඩා කිරීමට අවසානයේ තීරණය වු අතර පන්දු යැවීමේ උපාය මාර්ගද, පන්දු රකින්නන් යෙදවිය යුතු ස්ථාන ගැනත් දීර්ඝ ලෙස සාකච්ඡා කලහ. අවසාන ක්‍රීඩකයා වූ ග්ලේන් මැක්ග්‍රාත් දක්වා සෑම පිතිකරුවෙකු සඳහාම ශ්‍රී ලංකාව සුවිශේෂී  සැලසුම් සකස් කොට තිබුණු අතර කිසිම අවස්ථාවක බුරුලක් ලබා නොදිය යුතු බවට තීරණය විය. නායක මාක් ටේලර්ට හොඳ ඩ්‍රයිව් පහරක් තිබු හෙයින් නියම ඉලක්කයට පන්දුව ඇඟට එන විදියටත්, මාක් වෝට කිසිම අවස්තාවක මැද හා පා ඉන්නේ ක්‍රීඩා කිරීමට අපහසු වෙන ලෙස පන්දු යැවීමටත්, ඩ්‍රයිව් හා ෆුල් පහරට ශූර රිකී පොන්ටින්ට කිසිම වෙලාවක නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීමටත්, ස්ටීව් වෝට නිවැරදි ඉලක්කයටම පන්දු යැවීමටත්, විශේෂයෙන්ම පිත්තට නැගී එන පන්දුවට පහරදීමට රුචි ස්ටුවර්ට් ලෝ හා ඉයන් හිලී දඟ පන්දු වලින් මෙල්ල කිරීමටත් සැලසුම් සකස් විය. විශේෂයෙන්ම විකට් අතර දක්ෂ ධාවකයෙකු වූ මයිකල් බෙවන් ස්වීප් පහරට රුචි නිසාත්, විකට් එකට පුළුවන් තරම් දුරින් පන්දුව තැබිය යුතු බව හැමෝගෙම තීරණය විය. 

උදෑසන මද වර්ශාවක් පතිත උනත් තරඟය නියමිත වේලාවට  ආරම්භ කිරීමට එය බාධාවක් නොවීය. අර්ජුන රණතුංග කාසියේ වාසිය උරගා බැලීමට ස්වල්ප මොහොතකට පෙර ඩ්‍රෙසින් රූම් එක අසලට පැමිනි, 1992 ලෝක ශූර පකිස්තාන කන්ඩායමේ නායක ඉම්රාන් කාන්, අර්ජුන ගෙන් විමසුවේ "ටොස් එක දිනුවොත් කුමක් කරන්නේද" යන්නයි. එවිට අර්ජුන පැවසුවේ තමන් "දෙවෙනියට පන්දුවට පහර දීමට" අදහස් කරන බවයි. එවිට ඉම්රාන් ඛාන් ද පැවසුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ලෙසයි (No no, bat first bat first). මෙයින් අර්ජුන රණතුංග වඩාත් දෙගිඩියාවට පත් වුණේ ඉම්රාන්, පකිස්ථානයේ ක්‍රීඩා කර ඇති නිසා එහි තණතිලි පිලිබඳ ඉහල දැනුමක් තිබූ කෙනෙක් වීමත් නිසයි. මෙහිදී නැවතත් අර්ජුන ශ්‍රී ලංකා කණ්ඩායමේ මතය විමසූ අතර, තීරණය වුණේ සැලසුම් කල පරිදි  ශ්‍රී ලංකා කන්ඩායමේ ශක්තිය වූ දෙවන වර පන්දුවට පහර දීම යෝග්‍ය බවයි. කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර දෙවනුව පන්දුවට පහරදීමට තීරණය කලේය. එයින් උද්දාමයට පත්වූ මාර්ක් ටේලර්  ඇතුළු ඕස්ට්‍රේලියානුවන්, ඔවුන් ලෝක කුසලානය ජයග්‍රහණය කළා සේ ප්‍රීතියට පත් වුණේ එය ඔවුන් එය නොසිතූ තීරණයක් නිසාවෙන්මයි. එම තීරණය විචාරකයන්ගේ  විමතියට ලක් වූ අතර බොහෝ දෙනෙක් එය මෝඩ තීරණයක් ලෙස විවේචනයට ලක් කලේ ඒ වනවිටත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කර තිබූ කිසිම කණ්ඩායමක් දෙවන වර පන්දුවට පහර දී ජයග්‍රහණය කර නොතිබීම හා ලාහෝර් පිටියේ තරඟ වාර්තාව හුවා දක්වමින්.

කෙසේවෙතත් ලාහෝර් ක්‍රීඩාංගණය හැට දහසකට අධික ප්‍රේක්ෂකයන්ගෙන් පිරී යමින් තිබිනි. ඒ අතර ශ්‍රී ලංකාව ට සහයෝගය දක්වන පකිස්තානුවන් බොහෝ දෙනෙක් සිටි අතර ඔවුන් වඩාත් උද්දාමයට පත්ව තිබුනේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරඟයේ දී  ඔවුන්ගේ පරම හතුරන් වූ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කළ නිසාවෙන්.

ලාහෝර්  ක්‍රීඩාංගණයේ තනතිල්ල  පිතිකරුවන් ට ඉතා යෝග්‍ය තණතීරුවක් මෙන්ම fast outfield ක් ඇති බව පෙනී ගියේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි මාක් ටේලර්  සහ මාක් වෝ වේගයෙන් ලකුණු රැස්කරන්නට පටන් ගත් බැවින්. ඔස්ට්‍රේලියාවේ මුලු ලකුණු 36 දී තරගාවලියේ ලකුණු අතර සිටි මාක් වෝ දැවී ගියේ චමින්ද වාස් යැවූ පන්දුවකට square leg කලාපයේ සිටි සනත් ජයසූරිය රැකගත් උඩපන්දුවත් සමගින්. ඉන්පසුව මාක් ටේලර් සමග අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි රිකී පොන්ටින් වේග පන්දු යවන්නන්ට රිසි ලෙස පහර දෙමින් සිටි නිසා අර්ජුන රණතුංග සිය දඟ පන්දු යවනන් කැඳ වූවත් ප්‍රතිඵලයේ වෙනසක් වූයේ නැත. ඒ අතර ටේලර් - පොන්ටින්  ලකුණු 101 දැවැන්ත සම්බන්ධයක් වාර්තා කලේ මනරම් හතරේ පහරවල් හා හයේ පහරවල් සමගින්.  ඒ වනවිට මාක් ටේලර් ගේ ලකුණු 74 ත් සමඟ ලකුණු පුවරුව දැක්වුනේ පන්දු වාර 26 කට 137-1 ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසුවෙමිනුයි. මේ වනවිට ඔස්ට්‍රේලියාව ඉහල  ලකුණු සංඛාවකට යන පෙරනිමිති පල කරමින් තිබීම අර්ජුන ගේ කනස්සල්ලට හේතු විය. 

අරවින්ද ක්‍රියාත්මක කල 27 වන පන්දුවාරයේ දෙවන පන්දුවට මාක් ටේලර් එල්ල කල ස්විප් පහරෙන් ඉහල නැගුණු පන්දුව deep square leg හි සිටි සනත් ජයසූරිය විශිෂ්ට ලෙස රැකගත්තේ ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් පැවතුනු සම්බන්ධතාවය නිමාවට පත් කරමින්. ඒ සමඟ මෙතෙක් වේලා මදක් නිහඬව සිටි ලාහෝර් ප්‍රේක්ෂකාගරය ජය ඝෝෂා හඩින් ගිගුම් දෙන්නට විය. මාක් ටේලර් ලබා ගත් ලකුණු 74 දැක්වුනේ ඔස්ට්‍රේලියානු  නායකයෙකු  අවසන් මහා තරඟයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉන්පසුව  ස්ටීව් වෝ පැමිනි අතර නැවතත් ක්‍රියාත්මක වූ අරවින්ද යොමු කල පන්දුව රිකී පොන්ටින්ට සිතා ගන්නටත් පෙර කඩුල්ලේ වැදී ගියේය. කඩුල්ලේ හොඳින් ස්ථාවර වී සිටි ටේලර් හා පොන්ටින් දවා ගැනීම ඔස්ට්‍රේලියාවට වැදුනු මරු පහරක් විය. ඒ සමග මුලු ලකුණු පුවරුව 152- 3 දැක්විය. ඉක්මනින් කඩුලු 2ක් දැවී ගිය නිසා  පිතිකරන අනුපිලිවෙලේ වෙනසක් කල ඔස්ට්‍රේලියාව ශේන් වෝන් පිටියට එවීමට තීරණය කලේ නම් දෑරු පිතිකරුවන් පසුපසට දමමින්. ඒත් සමඟ  ආක්‍රමණය දැඩි කරන්නට ශ්‍රී ලංකාව තීරණය කලේය. 32 වන පන්දු වාරය  ක්‍රියාත්මක කල  මුරලිදරන් ගේ පස්වන පන්දුව පා ඉන්නට ඉවතින් දඟ කැවුනු  අතර එය ශේන් වෝන් පරයමින්  කඩුලු රකින කලුවිතාරනට ලැබෙද්දි ඔහුගේ  අගනා ස්ටම්ප් කිරීම හමුවේ වෝන් දැවී යනවිට ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 156 කට කඩුලු 4ක් ලෙසයි.
ඉන්පසුව පිටියට පැමිනි ස්ටීව් ලෝ හා එකතු වූ ස්ටීව් වෝ ලකුණු  පුවරුවට තවත් ලකුණු 14 ක් එකතු කලත්  35 පන්දුවාරයේ කුමාර් ධර්මසේන යැවූ පන්දුවකට ස්ටීව් වෝ  එල්ල කල පහර පිත්තේ පිටත දාරයේ  වැදී ගුවනට  මුසු වූ අතර එය උඩපන්දුවක් ලෙස රැක ගන්නට  අරවින්ද සමත් විය. ඉන්පසුව පිටියට පැමිනියේ එකල ඔස්ට්‍රේලියාවේ අනර්ඝම තරඟ අවසන් කරන්නා වූ මයිකල් බෙවන්. ලකුණු 170 ට කඩුලු 5ක් ලෙස අසීරු තත්වයක සිටි ඕස්ට්‍රේලියාව, ඉන් මුදවා ගන්නට මයිකල් බෙවන් සහ  ස්ටුවට් ලෝ ලකුණු  32 ක  සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර තවදුරටත්  ලකුණු වේගය වැඩි කරන්නට තීරණය කලහ. එහි ප්‍රතිඵලයක් ලෙස 44 වන ඕවරය යැවූ  සනත් ජයසුරිය ගේ පන්දුවක් ස්ටුවර්ට් ලෝ විසින්  කවර් කලාපයට ඉහලින් පහරක් එල්ල කිරීමට උත්සාහ දරන විට backward point හි සිටි අරවින්ද උඩපන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වීමත් සමඟ ස්ටුවර්ට් ලෝ ලකුණු 22 කට පිටියෙන් ඉවත් විය. ඒ සමගම පැමිනි ඉයන් හීලි ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදෙන්නට හැකි උනේ නැත. 45 වන පන්දුවාරය ක්‍රියාත්මක කල  අරවින්ද ගුවනේ පා කළ යැවූ  පන්දුව කඩුල්ල තුලට දඟ කැවුනු අතර  ඉයන් හිලී ගේ පිත්ත පරයමින් කඩුල්ලේ වැදි දැවී යන විට ලකුණු  පුවරුව දැක්වුණේ ලකුණු 205 ට කඩුලු හතක් ලෙසයි. ඉන්පසුව මයිකල් බෙවන් හා එක් වූ පෝල් රයිෆල් අවසාන පන්දු වාර 5ට  නොදැවි  ලකුණු 36ක් එක් කලහ. පන්දුවාර 50 නිමාවන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව 241 -7 ලෙස සනිටුහන් විය. පන්දු යැවීමේදී අරවින්ද ඕවර් 9 ක් තුල ලකුණු 42ට කඩුලූ තුනක් ලබා ගත් අතර වාස්,මුරලිදරන්, කුමාර් ධර්මසේන සහ සනත් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය. තරඟය පුරාම ශ්‍රී ලංකාවේ පන්දු රැකීම සතුටුදායක මට්ටමක වූ අතර කඩුල්ල පිටුපස කලුවිතාරන ගේ දිරි ගැන්වීම් කන්ඩායමට මහඟු උත්තේජනයක් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සැලසුම වුයේ කළුවිතාරණ සහ සනත් ජයසූරිය තරඟය ආරම්භක අවස්ථාවේ සිට වේගයෙන් ලකුණු කරා හඹා යෑමටත්, අසංක ගුරුසිංහ හැකි තරම් වෙලාවක් කඩුල්ල රැක ගැනීමටත්, අරවින්ද සහ අර්ජුන සුපුරුදු ලෙස ක්‍රීඩා කිරීමටත්, හෂාන් තිලකරත්න  හා රොෂාන් මහනාම අවස්ථානුකූලව පන්දුවට පහර දීමටත්ය. තරගාවලිය පුරා අක්‍රමණශීලි පිතිහරඹයෙන් සිය අණසක පැතිරූ සනත්-කළු සුසංයෝගය පිටියට පැමිණීමත් සමග ලාහෝර්  ක්‍රීඩාංගණය ජය ඝෝෂාවෙන් උද්දාමයට පත්වුනේ ගිනිකෙලි සංදර්ශනය දැක ගැනීමටය. 

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 11 ක් වන විට ෆ්ලෙමින්ගේ පන්දුවකට third man කලාපයට පහරක් එල්ල සනත් දෙවන ලකුණ කරා පැති මාරු කරන විට මැක්ග්‍රාත්  හා ඉයන් හීලි ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමත් සමඟ සනත් ජයසූරිය ලකුණු 9ක් ලබා සිටියදී  ක්‍රීඩා  පිටියෙන් ඉවත්වීමට සිදුවිය. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 23 ක් වන විට රොමේෂ් කළුවිතාරණ දැවී ගියේ ෆ්ලෙමිං ගේ පන්දුවකට හරිහැටි පිත්තේ නොවැදුනු පුල් පහරෙන් ඉහළ නැගි පන්දුව, square leg හි පන්දු රකිමින් සිටි බෙවන් ගේ  දෑතේ සුරක්ෂිත වෙමින්. ඒ වන විට වනවිට ලාහෝර් ක්‍රීඩාංගනය පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවම තිගැස්මට පත් වුනේ එවකට ශ්‍රී ලංකා පිලේ තරගය වෙනස් කරන පිතිකරුවන් දෙදෙනා වූ සනත් සහ කළු ඒ වන විටත් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදුවූ නිසා.
මීලඟට පිටියට පැමිනි අරවින්ද සමගින් ගුරුසිංහ කඩා වැටිනු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගන්නට විය. අරවින්ද තමාට සුපුරුදු  වේගයෙන් පන්දුවට පහර දුන්නත් අසංක ගුරුසිංහ ඉනිමේ නැංගුරම වෙමින් ව්කට්ටුවේ රැඳෙමින් පන්දුවට පහර දෙන්නට විය. අරවින්ද ගේ කඩුල්ලේ වටිනාකම දැන ගත් ඔස්ට්‍රේලියානු නායක මාක් ටේලර්  ඉතා ඉක්මණින් ඔහුගේ තුරුම්පුව වූ දකුනතින් පා දඟ පන්දු යවන ශේන් වෝන් පන්දු යැවීමට කැඳවන්නට තීරණය කලේය. එහෙත් ඔහුට තැන්පත් වීමට ඉඩ නොදුන් අසංක සහ අරවින්ද  වෝන්ට එළව එළවා පහර දුන්නේ නැවතත් නිහඬ වී සිටී  ලාහෝර් ක්‍රීඩාංගණය ප්‍රීතිඝෝෂා නාදයෙන් මුසපත් කරමින්. ඒ වන විටත් උඩපන්දු කීපයක්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ගිලිහුණේ දිනයේ වාසිය ශ්‍රී ලංකාවේ බව තවදුරටත් සනිටුහන් කරමිනුයි. 21 වන පන්දුවාරය ක්‍රියාත්මක කල ෂේන් වෝන්ට අසංක ගුරුසිංහ long off කලාපයෙන් දැවැන්ත හයේ පහරක් එල්ල කරද්දී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 105 ට කඩුලු 2ක් ලෙස දැක්වුනා. 
මේ අතර 31 පන්දුවාරය ක්‍රියාත්මක කල  පෝල් රයිෆල් එල්ල  කළ දෙවන පන්දුව අසංක ගුරුසිංහ ගේ අවධානය බිඳ දමමින් කෙළින්ම කඩුල්ලේ දැවටීමත් සමඟ ශ්‍රීලංකාවේ තුන්වන කඩුල්ල බිඳ වැටිනි. ඒ වන විට ඔහු අගනා ලකුණු 65 රැස් කර තිබුනේ මනරම් හතරේ පහර 6ක් හා හයේ පහරක් සමගින්. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 148-3ක් ලෙසයි. ඒවන විට ශ්‍රී ලංකාව ට ජයග්‍රහණයට තවත් ලකුනු 94ක් පන්දුවාර 19ක් තුල අවශ්‍ය ව තිබුනා. ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීමට නම් තවත් ඉක්මන් කඩුලු දෙක තුනක් අවශ්‍ය වූ මොහොතක ඔස්ට්‍රේලියාවේ ආක්‍රමණය දැඩි කලත් අරවින්ද සමඟ එක් වූ අර්ජුන පිතිකරණයේ යෙදුනේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්. එමෙන්ම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්, පන්දුව නිරන්තරයෙන් කඩ මාල්ලකින් පිසදමමින් සිටියේ පින්නත් සමග එය හරි හැටි ග්‍රහණය කර ගත නොහැකි වූ නිසා.  

එමෙන්ම ෂේන් වෝන්ගේ පන්දුව දඟ කවන ඇඟිල්ල ද හිරි වැටී තිබීමත් සමග දඟපන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවේ වාසියක් ලබා ගන්නට ඔස්ට්‍රේලියානුවන්ට නොහැකි විය. ඒත් සමග ප්‍රහාරය ඉක්මන්  කල අරවින්ද සහ අර්ජුන ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුව අසන්නට රැගෙන යමින් තිබිනි. මේ අතර අරවින්ද සිල්වා තම ජීවිතයේ කිසිදා අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කලේ නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින්. එය දැකුම්කලු හතරේ පහරවල් 13 කින් වර්ණවත්ව තිබුනා. අරවින්ද ගේ ශතකය ලැබීමත් සමඟ ලාහෝර් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් දැවැන්ත ඔල්වරසන් නැගූ අතර ශ්‍රී ලංකිකයන් ද ජයග්‍රහණය ගැන උද්දාමයට පත්ව සිටියහ.
අවසානයේදී 47 පන්දුවාරය ක්‍රියාත්මක කළ මැක්ග්‍රාත් ගේ දෙවැනි පන්දුවේදී අර්ජුනගේ  පිත්තේ වැදුනු පන්දුව තර්ඩ් මෑන් කලාපය හරහා හතරේ සීමාව පසු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කරමින්. එත් සමගම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද ක්‍රීඩාපිටියට දිව ආවේ තමන් නව ලෝක ශූරයන් වීමේ ප්‍රීතියත් සමඟින්. අවසානයේ දි ශ්‍රී ලංකාව කඩලු 7කින් ඔස්ට්‍රේලියාව පරාජය කරන ලදී යන්න තිරයේ දිස්විය. අවසන්  තරඟයේ වීරයා අරවින්ද ද සිල්වා ලෙසත් තරඟාවලි‍යේ වීරයා සනත් ජයසූරිය ලෙසත් සම්මාන දිනා ගත්හ .ශ්‍රී  ලංකා කණ්ඩායමේ මෙම ලෝක කුසලාන ජයග්‍රහණය, ශ්‍රී ලංකාව දෙසට ලෝකයේම ඇස් ඇරවන්නට සමත් වීම ශ්‍රී ලාංකිකයන් ලෙස සතුටු වීමට හැකි කාරණයක්.ඉන්පසුව  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයන් අතර ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් අතර අද වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ද ලෝක කුසලාන ජයග්‍රහණයේ අඩිතාලමත් සමගින් බව කීම නොරහසක්. ඇත්තටම එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ උච්චතම අවස්ථාව මෙන්ම හැරවුම් ලක්ෂ්‍යය ද සනිටුහන් කලා. අදටත් එය අමරණීය මතකයක්.
ලකුණු පුවරුව 

ඔස්ට්‍රේලියාව  241-7  (ඕවර 50)
මාක් ටේලර් 74(83)   
රිකී පොන්ටින් 45(73) 
අරවින්ද ද සිල්වා 42-3(9)
චමින්ද වාස් 30-1(6)

ශ්‍රී ලංකාව 245-3 (ඕවර 46.2)
අරවින්ද ද සිල්වා* 107(124) 
අසංක ගුරුසිංහ 65 (99)
ඩේමියන් ෆ්ලෙමිං 43-1(6) 
පෝල් රයිෆල් 49-1(10)

හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19