2007 ICC World Cup Final - Episode 03 (SL vs AUS)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2007 අයි.සී.සී ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2007 අයි.සී.සී ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක... 
(Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

Play, in this beautiful game
Where the rules and aim
Remain the same
It's the game of love unity..//

ඉහතින් ඇති ලෝක කුසලාන නිල තේමා ගීතයේ මුල් පද පේළිය ඇසෙන විට සෑම  ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුගේම  මතකය නිරායාසයෙන්ම දිවයන්නේ 2007 ලෝක කුසලානය වෙතයි. 2007 ලෝක කුසලානය සිහියට  නැගෙත්ම ඕනෑම ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකුගේම සිත, ප්‍රීතිය මුසු ආඩම්බරයෙනුත් ඒ සමගම ඇතිවන සියුම් සංවේගයකින්ද පිරී යනු නොඅනුමානය. එයට හේතුව නම් ශ්‍රී ලංකාව 1996න් පසු ලෝක ක්‍රිකට් කිරුළේ අවසන් තරගයට වරම් ලැබීම වෙනුවෙන් දැක්වූ දස්කම් හා අවසන් මහා තරඟයේ අවාසනාවන්ත පරාජයත් නිසාවෙන්.

නමවන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය  බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට හිමි වූ අතර තරඟාවලිය  2007 වසරේ මාර්තු 13 සිට අප්‍රේල් 28 දක්වා තරඟ 51කින් සමන්විත විය. පළමු වටය වෙනුවෙන් කණ්ඩායම් 16ක් කාණ්ඩ හතරක් ඔස්සේ තරඟ වැදුණු අතර පළමු වටය අවසන් වූයේ ක්‍රිකට් ලෝකයම උඩු යටිකුරු කරවමිනි. සමස්ත ලොවම කම්පනයට පත් කරමින් පකිස්ථාන පුහුණුකරු බොබ් වුල්මර්ගේ හදිසි මරණයත් ඉන්දීය හා පාකිස්තානු කණ්ඩායම් ප්‍රථම වටයෙන්ම තරගාවලියෙන් විසි වී යෑමත් හා ක්‍රිකට් ලොව ලිලිපුට්ටන් වූ අයර්ලන්තයේ බංග්ලාදේශයේ පෙරළිකාර දක්ෂතා එයට හේතු විය.

දුර්වල සැලසුම් හා තරඟ රටාව නිසා 1999, 2003 ලෝක කුසලාන වල අසාර්ථක වුනු ශ්‍රී ලංකා කණ්ඩායම 2007 තරගාවලියට එක් වූයේ මහත් බලාපොරොත්තු රැසක් සමගිනි. පළමු වටයේදී ප්‍රබල ඉන්දියාව පරාජය කළ අතර සුපිරි 8 වටයේ වටයේ ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 4කින් කඩුලු හතරක් ලබා ගැනීම, එංගලන්තයට එරෙහිව ලබාගත් තියුණු ජය නිසා ශ්‍රී ලංකාව තරඟාවලියේ කළු අශ්වයන් නොහොත් වඩාත් පෙරළිකාර කණ්ඩායම ලෙස හඳුන්වන්නට විය. ඒවන විට අත්දැකීම්වලින් පිරිපුන්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අතර ජයසූරියගේ පිතිකරණය, මහේලගේ උපක්‍රමශීලී නායකත්වය, මුරලි, වාස් හා මාලිංගගේ පන්දු යවන්නන් ගේ බලඇණියේ විවිධත්වය, සංගා ගේ කඩුල්ල පිටුපස දක්ෂතා හා ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම කැපීපෙනුනි.
උණුසුම් සුපිරි 8 වටය නිමාවෙන් පසුව අවසාන පූර්ව තරඟ සඳහා ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවත් නවසීලන්තය හා ශ්‍රී ලංකාවත් වරම් දිනාගත්හ. අප්‍රේල් 24 වැනි දින ජැමෙයිකාවේ සබීනා පාක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පුර්ව තරගයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තය ලකුණු 81 කින් පරාජය කිරීමට සමත් විය. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක මහේල ජයවර්ධන ලකුණු නොදැවී ලකුණු 115 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. දෙවන අවසන් පූර්ව තරගයේ දී එකල ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ කණ්ඩායම වූ දකුණු අප්‍රිකාව කඩුලු 7කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයට වරම් ලබා ගත්තේ ඉතිහාසයේ පළමුවරට එකම කණ්ඩායම් දෙකක් නැවතත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ දෛවෝපගත සිද්ධියත් සමඟයි.

තරගාවලිය පුරාම අපරාජිතව සිටි ඔස්ට්‍රේලියාව පරාජය කළ හැකි එකම කණ්ඩායම ශ්‍රී ලංකාව ලෙස තරඟ විචාරකයන්ගේ ද මතය වී තිබිණි. වසර එකොළහකට පසුව ලෝක කුසලාන අවසන් මහා තරඟයක මිහිර විඳ ගැනීමට අප්‍රේල් 28 වනදා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ මෙන්ම උණුසුම් අවසන් තරඟයක් බලාපොරොත්තුවෙන් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ද එක් වී සිටියහ.
සිව් වසරකට වරක් පැවැත්වෙන ක්‍රිකට් ලොව සැණකෙළියේ අවසන් මහා තරගය අප්‍රේල් 28 දිවා තරගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පැවතුනද බාබඩෝස් හී කෙන්සින්ටන් ඕවල් පිටිය වටා වැහිබර කාලගුණයක් පැවතීම සියලු දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබිණි. එහෙත් ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතුව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් තිබුණේ සති 7ක් අවසානයේ ක්‍රිකට් ලෝක කිරුලේ උච්චතම මොහොත නැරඹීමටයි.   
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

උදෑසනම ඇදහැළුණු වර්ෂාව නිසා ප්‍රමාද වී ඇරඹුන තරඟය පන්දුවාර 38ට සීමා වුණු තරඟයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් දිනාගත් අතර හෙතෙම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මහේල ජයවර්ධනගේ අදහස වූයේද කාසිය වාසිය ජයග්‍රහණය කළොත් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බවත් නමුත් ඇතිවූ වර්ෂාවෙන් කුමක් කරන්නෙද පිලිබඳව මදක් චකිතයට පත්වූ බවත් පැවසීය. තණතීරුව පිතිකරුවන්ට ඉතා යෝග්‍ය ලෙස පෙනුනත් වර්ෂාව නිසා දිගින් දිගටම වැහි ආවරණවලින් තණතීරුව වසා තිබූ හෙයින් එහි හැසිරීම කුමක් වනු ඇත්දැයි කිසිවකුටත් නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකිවූයේ නැත.
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙපළ පිටියට පැමිණෙන විට ප්‍රේක්ෂකයන් දැවැන්ත ඔල්වරසන් නැගුවේ වර්ෂාව හමුවේ තරඟය නොපැවැත්වේ යැයි තිබූ අවිනිශ්චිත බව ඉවත් වී යෑමත් සමඟයි. එහෙත් තරඟයේ පළමු පන්දුවාරය යවන විටම වාස්ගේ මුහුණ ඇඹුල් වී ඇති බව දුටු මුරලි එයට හේතුව විමසන්නට විය.වාස් ගේ පිළිතුර වූයේ "වැඩක් නැහැ මචන් බෝලය swing වෙන්නේ නෑ, බැට් එක හොයාගෙනම යනවා. පුළුවන් තරම් ඉක්මනට බෝලේ අරගෙන උඹවත් මොනවා හරි කරන්න බලපන්" යන්නයි. එහෙත් ලසිත් මාලිංග සිය විවිධත්වයත් සමඟ පීඩනයකින් පන්දු යැවීමට සමත් වූ නිසාම එසැනින්ම දිල්හාර ප්‍රනාන්දු ආක්‍රමණයට කැඳවීමට මහේල තීරණය කළේය.මැතිව් හේඩ්න්  හා ඇඩම් ගිල්ක්‍රිස්ට් දෙපල පලමු පන්දුවාර 10 තුළ ලකුණු 46ක් රැස්කර ගන්නට සමත් විය. 11 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ දිල්හාර ප්‍රනාන්දු ගේ දෙවන පන්දුවට ගිල්ක්‍රිස්ට් ලබා දුන් අසීරු උඩපන්දුව දිල්හාර අතින් ගිලිහී යාම පිරිමැසිය නොහැකි පාඩුවක් විය. ඉන් නිසි ප්‍රයෝජන ගත් ගිල්ක්‍රිස්ට් ඊලඟ පන්දු 3ට හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කලේ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් උද්දාමයට පත් කරමිනි.
(Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)
ඉන් අනතුරුව වහාම දඟ පන්දු යවන්නන් කැඳවීමට මහේල පියවර ගත් නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් අධ්‍යයන කළ ඇඩම් ගිල්ක්‍රිස්ට් සිය අනුකම්පා විරහිත ප්‍රහාරය ආරම්භ කලේය. ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 100යේ සීමාව 17 පන්දුවාරයේදී පසු කලේ ගිලී ගේ පිත්තෙන් එල්ල වූ දැවැන්ත හයේ පහරක් සමගින්.දුම්මල වරම අතට යක්ෂයෙක් මෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුට්ටුවකටවත් මායිම් නොකර පහරදුන් ගිල්ක්‍රිස්ට් ශතකය රැස් කරන විට වැයකොට තිබුණේ පන්දු 72ක් පමණි. 21 පන්දු වාරයේ දී පළමු පන්දුවට Midwicket කලාපයෙන් දර්ශනීය හතරේ පහරක් එල්ල කළ ගිල්ක්‍රිස්ට් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු එකසිය පනහේ සීමාවට එසවූ අතර සිය සගයා වූ හේඩ්න් තම යුතුකම මනාව ඉටුකරමින් සිටියේය. පන්දුවාර 22 කට 163-0 ලෙස දිස්වූ ලකුණු පුවරුව ශ්‍රී ලංකා පිල දැඩි ලෙස නොසන්සුන් කොට තිබුනේ තවමත් එකම කඩුල්ලක් හෝ දවා ගැනිමට නොහැකිවීමත් කැන්ගරුවන් ඉහල ලකුණු වේගයක් පවත්වාගෙන යාමත් නිසාවෙන්.  
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

ලසිත් මාලිංග ක්‍රියාත්මක කළ 23 පන්දුවාරයේ පස්වන පන්දුවට හේඩ්න් short extra cover කලාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට උත්සාහ කළත් cover හී සිටි මහේල ජයවර්ධන සුරැකිව පන්දුව රැක ගත්තේ ඔස්ට්‍රේලියානු පළමු කඩුල්ල දැවී යාමේ සැනසුම් සුසුම ශ්‍රී ලංකාවට උරුමකර දෙමිනි. ඒ වනවිට ඔස්ට්‍රේලියානු ලකුණු පූර්ව ලකුණු 172-1 ක් ලෙස දැක්වුණු අතර හේඩ්න් රැස්කර තිබුණේ ලකුණු 38ක් පමනි. ඉන් පසුව ගිල්ක්‍රිස්ට් හා රිකී පොන්ටින් ද ලකුණු වේගය මදකට අඩු නොකොට ප්‍රහාරය ක්‍රියාත්මක කලේ රැස්ව සිටි ප්‍රේක්ෂකයන් කුල්මත් කරමින්. 31 වන පන්දුවාරයේ දිල්හාර ප්‍රනාන්දු ගේ කෙටි පන්දුවට ගිල්ක්‍රිස්ට් විසින් එල්ල කළ පුල් පහරින් පිත්තේ දාරයේ වැදි ගුවනට මුසු වූ උඩපන්දුව mid wicket හී පන්දු රැකි චාමර සිල්වා රැක ගැනීමත් සමග ඕස්ට්‍රේලියානු පිලේ දෙවන කඩුල්ල මුලු ලකුණු 224ක් වනවිට බිඳ වැටී ගියේය. නමුත් ඒ වනවිට සිය ජීවිතයේ අමතක නොවන ඉනිම ක්‍රීඩා කල ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 104කින් ලකුණු 149ක් රැස් කොට තිබූ අතර එය හතරේ පහර 13ක් සහ දැවැන්ත හයේ පහර 8කින් සමන්විත තිබුණි. එය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරඟයේ ක්‍රීඩකයෙකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවද විය.
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

ඉන්පසුව රිකී පොන්ටින් හා එකවූයේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ය. ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 261 ක් ලෙස දක්වන විට රිකී පොන්ටින් ලකුණු 37කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට මහේල ජයවර්ධනගේ විශිෂ්ට පන්දු රැකීම ඉවහල් විය. ඒ ඇන්ඩෲ සයිමන්ඩ්ස් වාස්ගේ ෆුල්ටොස් පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කර ලකුණක් කරා පැති මාරු කිරීමේදී වහා ක්‍රියාත්මක වූ ජයවර්ධන කෙලින්ම කඩුල්ලට පන්දුව එල්ල කරමින් පොන්ටින් දුවද්දී දැවී යාමට හසු කර ගැනීමත් සමඟයි. ඉනිමේ ඉතුරුව තිබුනේ තවත් පන්දුවාර 2 බැවින් ඕස්ට්‍රේලියානු පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදුකරමින් මයිකල් හසී සහ මයිකල් ක්ලාක්ට පෙරාතුව වොට්සන්ට එවීමට ඔස්ට්‍රේලියාව තීරණය කළ අතර අරමුණ වූයේ තවදුරටත් වේගයෙන් ලකුණු රැස් කිරීමයි. එහෙත් වොට්සන් මාලිංග ගේ යෝකර් පන්දුවට පැඩල් ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූ අතර පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා ලකුණු තුනකට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඉන් අනතුරුව ඇන්ඩෲ සයිමන්ඩ්ස් හා මයිකල් ක්ලාක් නොදැවී ක්‍රීඩා කළ අතර ඔවුන් ලකුණු පුවරුව ඕවර 38 අවසානයේ ලකුණු 281-4 ලෙස දිස්විය.

ඕස්ට්‍රේලියානුවන් ලබාගත් දැවැන්ත ආරම්භයත් සමග සැසඳීමේ දී අවසන් පන්දුවාර 10ට ශ්‍රී ලංකාව ලබා දුන්නේ ලකුණු 76ක් වීම යම් ජයග්‍රහණයක් වුණත් තරගය පුරාවටම ශ්‍රී ලංකා පන්දු රැකීම එතරම් ඉහළ මට්ටමක තිබුණේ නැත. දිනයේ හොඳම පන්දු යවන්නා වූ ලසිත් මාලිංග කඩුලු දෙකක් 2ක්, දිල්හාර ප්‍රනාන්දු  එක් කඩුල්ලක් ලබා ගත්තද අත්දැකීම් බහුල වාස් හා මුරලිට එකදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකිවීම ශ්‍රී ලංකාවට අභාග්‍යසම්පන්න සිදුවීමක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග හා සනත් ජයසූරිය ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා පිටියට පිවිසි අතර නේදන් බ්‍රැකන් යොමු කළ පළමු පන්දුවම හතරේ සීමාව කරා යොමු කිරීමට උපුල් තරංග සමත් වූයේ අසීරු මෙන්ම අභියෝගාත්මක ඉලක්කයක්  හිමිවුනද තරගය අධිෂ්ඨානය අතනොහැර ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බව පෙන්වමිනි. එහෙත් ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වනවිට පළමු කඩුල්ල ලෙස උපුල් තරංග පිටියෙන් ඉවත් කිරීමට කැන්ගරුවන්  සමත් විය. ඒ නේදන් බ්‍රැකන් යොමුකළ පන්දුව දෝලනය වීමත් සමග තරංග ගේ පිත්තේ වැදී කඩුලු රකින ගිල්ක්‍රිස්ට් හට පහසු උඩ පන්දුව රැකගැනීමත් සමගින්. 
(Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

ඉන් අනතුරුව සනත් ජයසූරිය හා එක්වූ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගන්නට වූ අතර දුර්වල පන්දු තෝරාබේරාගෙන දැවැන්ත පහරවල් කරා යන්නට සමත් වීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට යම් බලාපොරොත්තුවක් ඇතිකරන්නට හේතුවී තිබිණි. මේ අතරවාරයේ සංගක්කාර සිය අර්ධ ශතකය වාර්තා කළේ  දිගු ඉනිමක් කරා යන බව පෙන්වමින්. ඕස්ට්‍රේලියාවට අවශ්‍යම අවස්ථාවේ  ක්‍රියාත්මක වූ බ්‍රැඩ් හොග් 20 වන පන්දුවාරයේ දි සංගක්කාර ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්විය. ඒ Short length හි පතිත කළ පන්දුවට සංගා එල්ල කළ පුල් පහර ෂෝට් මිඩ් විකට් හි රිකී පොන්ටින් දෑතේ සුරක්ශිතවීමත් සමගයි. ඒ වනවිට සංගා ලකුණු 54 ක් ලබා සිටි හතරේ පහර 6ක් හා දර්ශනීය හය  පහරක් සමගින්. ඉන් අනතුරුව මහේල ජයවර්ධන පිටියට පිවිසි අතර විටින් විට වර්ෂාව ඇද හැලුණේ සියලු ප්‍රේක්ෂකයන් කලකිරීමට පත් කරමිනි. ඒ අනුව පන්දුවාර 36කදී  ශ්‍රී ලංකාවට ලකුණු 269 ක ඉලක්කයක් හිමිවිය. 
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)
මේ වනවිට ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වූ සනත් ජයසූරිය පිටියෙන් ඉවත් කිරීමට මයිකල් ක්ලාක් සමත්වූයේ ශ්‍රී ලංකාව තවදුරටත් අසීරු අඩියකට ඇද දමමින්. ඒ 23වන පන්දුවාරයේදී ක්ලාක් යොමුකළ පන්දුව ඉතා පහළින් පැමින ජයසූරියගේ පිත්ත පරයමින් කඩුල්ලේ වැදීමත් සමඟයි. ඒවනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 145-3 ක් ලෙස දිස්විය. ඉන්පසුව පැමිණි කිසිදු ශ්‍රී ලාංකීය පිතිකරුවෙක්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූයේ ඔවුන්ට වර්ෂාව මෙන්ම ඉහළ යන ලකුණු වේගය සමගද සමග තරග කිරීමට සිදු වූ බැවිනි. ඒත් සමඟ ඔස්ට්‍රේලියානු ඉනිමේදී පිතිකරුවන්ට ඉතා යෝග්‍ය ව හැසිරුණු තණතීරුව වර්ෂාවත් සමග ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන විට පන්දු යවන්නන්ට යෝග්‍ය වීම දිනයේ අවාසනාව ශ්‍රී ලංකාව වෙත බව නැවතත්  තහවුරු කළේය. ශ්‍රී ලංකා පිල ලකුණු 156 යෙදී මහේල ජයවර්ධන දැවීගියේ වොට්සන් ගේ පන්දුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ බැවින්. 
ඒ සමගම තිලකරත්න දිල්ෂාන් පන්දුවක් Thirdman කලාපයට යොමු කර ලකුණු දෙකක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී දුවද්දී දැවී යාමට උනේ හසුවුණේ ක්ලාක් හා මැක්ග්‍රාත්ගේ දක්ෂ පන්දු රැකීමත් සමගයි. ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව ලකුණු 190 ක් වනවිට  මයිකල් ක්ලාක් ගේ පන්දුවට චාමර සිල්වා එල්ල කල ලොෆ්ටඩ් ස්වීප් පහර සම්පූර්ණයෙන්ම මග හැරුණු අතර පන්දුව කඩුල්ලේ වැදීමත් සමග චාමර සිල්වාද ලකුණු 21 පිටියෙන් ඉවත් විය. ඉන් තවත් ලකුණු හතරක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් වෙද්දී මැක්ග්‍රාත් ගේ ෆුල්ටොස් පන්දුවට රසල් ආනල්ඩ් එල්ල කළ පහරින් ගුවනට මුසු වූ පන්දුව ගිල්ක්‍රිස්ට්ගේ අත් ආවරණ තුළ සැඟවෙද්දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ද ඒත් සමගම සැඟවෙන්නට විය.  ඒ වනවිට ශ්‍රී ලංකා පිලේ ලකුණු 194 ට කඩුලු 7ක් දැවී ගොස් තිබිණි. තරඟයේ ඕවර 33 ක් නිමාවනවිට තරගය අයහපත් ආලෝක තත්වය මත තරඟය නැවැත්වූ අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කඩුලු ගලවා තමන්ගේ ජයග්‍රහණය සැමරුවේ තරඟය නිමා වී ඇති බවත් සිතමිනි. 
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)
ඒහෙත් විනිසුරුවන් ගේ මැදිහත් වීමෙන් යළිත් තරඟය ඇරඹුණේ ශ්‍රී ලංකාවට පන්දුවාර තුනක් තුළ ලකුණු 61 ක් ලබගත යුතුව තිබූ පසුබිමකයි. අවසානයේ තරඟය අවසන් මොහොත පැවැත්වූයේ ක්‍රීඩාංගනය ගන අඳුරේ තිබියදී වීම සියලු ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට හේතු විය. එහි විදුලි ආලෝක කුළුණු තිබුනේද නැත. අයහපත් ආලෝක තත්වය මත දඟ පන්දු වන පමණක් භාවිත කළ යුතු බව විනිසුරුවන් දැනුම් දුන් අතර රිකී පොන්ටින් ගේ සිතැඟි පරිදි අවසන් ලෝක කුසලානය ක්‍රීඩා කළ සුපිරි පන්දු යවන්නා වූ ග්ලේන් මැක්ග්‍රාත්ට අවසන් පන්දු වාරය ලබා දීමට නොහැකිවිය. කෙසේ වෙතත් නියමිත පන්දුවාර 36 අවසානයේ දී කඩුලු 8කට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා වීමත් තරගයේ ජයග්‍රහණය නිල වශයෙන් ඕස්ට්‍රේලියානු පිල සතුවිය. ඒ අනුව ඕස්ට්‍රේලියාව ලකුණු 53 ක ජයක් ලැබූ අතර පිටපිට තුන්වන වරටත් ලෝක කුසලානය දිනාගත් පළමු කණ්ඩායම විය. තරගයේ වීරයා සම්මානය ඇඩම් ගිල්ක්‍රිස්ට්  දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ග්ලෙන් මැක්ග්‍රාත් සම්මාන ලැබිය. 
  
කුසලානයක් ජයග්‍රහණය කිරීමට නම් දක්ෂතාවය මෙන්ම වාසනාවද අනිවාර්යෙන්ම  තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේදි වාසනාව දශමයක් හෝ තිබුනේ නැත. කාසිය වාසිය පරාජය වීමේ පටන්ම ඕස්ට්‍රේලියානුවන් පන්දුවට පහර දීමේදී  හොඳින් හිරු එළිය වැටී තණතිල්ල පිතිකරුවන්ට යෝග්‍යව තිබූ අතර පන්දු යවන්නට කිසිදු සහයක් නොමැති විය. එහෙත්  ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට විටින් විට ඇද හැලුණු ඇද හැලුණු හැලුණු වර්ෂාවත් සමග තණතිල්ල පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් උදාකර තිබුණේ ඉතා හොඳින් පන්දුවේ දෝලනය හා ඉපිළීම දක්නට ලැබූ නිසයි. එමෙන්ම ඇඩම් ගිල්ක්‍රිස්ට් ලබාගත් ලකුණු 149 තුළ තමන්ව දවා ගැනිමට අවස්ථා හතරක් ලබා ලබා දුන්නද ඒවායින් ඵල ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නැත. තරඟාවලිය පුරාම ලකුණු අතර නොසිටි ඇඩම් ගිල්ක්‍රිස්ට් මේ තරඟයේදී ස්කොශ් පන්දුවක් ආවරණ තුල සඟවා පිතිකරණයේ යෙදීම බොහෝදෙනාගේ කතා බහට ලක් වුවද එය ICC නිතී අනුව වරදක් ලෙස සැලකෙන්නේ නැත. මේ අනුව ඕස්ට්‍රේලියාව අපරාජිතවම ලෝක කුසලානයේ සියලු තරග නිමා කළ අතර අවසන් තරඟයේදී වෘත්තීයමය ක්‍රීඩා විලාසය ශ්‍රී ලංකාව ට වඩා ඉදිරියෙන් තිබූ බව දැකිය හැකිවිය.නමුත් වර්ෂාවෙන් බාධාවක් නොවී තරගයේ පන්දුවාර 50 ක්‍රීඩා කළේ නම් තරගය ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ද ඉඩ තිබිණි.
 (Image Courtesy - https://www.espncricinfo.com/wc2007/content/image/index.html?object=247507)

අවසන් තරගයේ අවසන් මොහොතේ සිදු වූ  අවුල් සහගත සිදුවීමත් ICC යේ ද විවේචනයට ලක්වූ අතර තරඟ තීරක හා විනිසුරුවන්ට ද එම විවේචනය එල්ල වූයේ අතිරේක දිනයක් තිබියදී එම දිනයේම තරඟය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමත් සමඟයි. ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලීන්ට තවත් වේදනාත්මක සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයන් වූ  සනත් ජයසූරිය සහ චමින්ද වාස් ක්‍රීඩා කළ අවසන් ලෝක කුසලානය වූ බැවිනි. 2007 ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් කඳුළින් තෙත් කල වේදනාබර මතකයක් වුවද තරගාවලිය පුරා දැක්වූ දස්කම් සදා මතකයේ රැඳෙනු ඇත. ඕස්ට්‍රේලියානුවන්ට පමණක් දෙවෙනි වෙමින් ශ්‍රී ලංකාවට අනුශූරයන් වීමට සිදුවුවද සැබැවින්ම සිංහයන් පරාජය නොවූ බව බොහෝ දෙනාගේ අදහසයි.

 හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19