Skip to main content

2011 ICC World Cup Final - Episode 05 (SL vs IND)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2011 අයි.සී.සී ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2011 අයි.සී.සී ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක...
 Image Courtesy - https://www.thequint.com/sports/cricket/probe-into-2011-world-cup-final-sri-lanka-sports-minister
 
බහුතරයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ වේදනාත්මක මතකයන් අතුරෙන් ඉදි‍රියෙන්ම ඇත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය බවට සැකයක් නැත. 
පිට පිට එක්දින ලෝක කුසලාන ද්විත්වයක අවසන් මහා තරඟයට වරම් ලබා ගත්තද, එකී තරග දෙකම පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුව තිබිනි. ඒ අතුරෙනුත් 2007 ලෝක කුසලානය වර්ෂාව නිසා අවාසනාවන්ත වූවද 2011දී ජයග්‍රහණය ආසන්නයටම පැමිණ පරාජයට පත්වීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දෑස් කඳුලින් තෙත් කරන්නට සමත් විය. මේ එකී වේදනාත්මක මතකය පිළිබඳව කෙරෙන පසු විපරමක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය එංගලන්තයේ සිදු වුවත්, අද වන විට එය ඉහළම ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉන්දියානු උප මහද්වීපය තුලයි. වසර 14 කට පසු ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාව,බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු එකී ඉන්දියානු උප මහද්වීපයේ රටවලට හිමිවීම එම ක්‍රිකට් උන්මාදයට මහඟු අස්වැසිල්ලක් විය. ඒ අනුව දහවන ලෝක කුසලාන තරඟාවලිය පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 02 දක්වා තරග 49ක් පැවැත්වීමට සැලසුම් කර තිබිණි. රටවල් 104ක් අතුරෙන් අවසානයේ රටවල් 14ක් කාණ්ඩ දෙකක් ඔස්සේ ලෝක ශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් කඳවුරු බැඳ ගත්හ.

ශ්‍රී ලංකාවට හුරුපුරුදු දේශගුණ තත්වයන් හා තනතිලි වල වාසියත්, අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ සංචිතයත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත බොහෝ දෙනාගේ සුබවාදී අපේක්ෂාවන් හිමිවී තිබිණි. එම බලාපොරොත්තු මතින් ඉදිරියට ගිය ශ්‍රී ලංකාව මූලික වටය නිම කළේ පකිස්ථානයට පමණක් දෙවෙනි වෙමින්. තරංග,දිල්ශාන්,සංගක්කාර,මහේල ගෙන් හෙබි ශ්‍රී ලංකා පිතිකරණ මුල් පෙළ තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ අතර මුරලි,මාලිංග,කුලේ, අජන්ත,තිසර,මැතිව්ස්,හේරත් ඇතුළු පන්දු බලඇණියද ඊට නොදෙවෙනි දක්ෂතා පෙන්නුම් කලහ. අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව, එංගලන්තයට කඩුලු 10ක දරුණු පරාජයක් උරුම කර දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියවරුන්ට ද පාඩමක් කියා දෙමිනි. මාර්තු 29 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේ පැවති අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු 5 කින් පරාජයට පත් කරමින් පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සිංහයන් සමත් විය.අනෙකුත් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව තමන්ගේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වූ පාකිස්තානය ලකුණු 29 කින් පරාජය කරමින් අවසන් මහා තරගයට වරම් ලැබීය.ඒ අනුව ආසියානු රටවල් දෙකක් අවසන් මහා තරඟයට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙස සටහන් විය.
 (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)

ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා හැටගුණයක් විශාල දේශයක් වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඕනෑ තරම් ඉන්දියාව රිද්දන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබිණි. ඉන්දීය කණ්ඩායම 1996 දී අවසන් පූර්ව තරගයෙන් ගෙදර යැවීම හා 2007 තරගාවලියේදි  පළමු වටයෙන් ඉවත් කිරීමට පුරෝගාමී වූ ශ්‍රී ලංකාවෙන් වාඩුව පිරිමසා ගැනීමට ඉන්දියාවට මහත් ඕනෑකමක් විය. අප්‍රේල් 02දා වන විට මුළු මහත් ලෝකයේම අවධානය ක්‍රිකට් සැණකෙළියේ අවසන් රංගනය වෙත යොමුව තිබුණේ උණුසුම් තරඟ අත්දැකීමක් අපේක්ෂාවෙන් ය. මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණය 42,000කට අධික ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් තිබුණු අතර  ඉන්දියානු ප්‍රේක්ෂකාගාර දිස්වූයේ නිල් සාගරයක් ලෙසින්.

දිවා රාත්‍රී තරගයක් වූ අවසන් මහා තරඟයේ තණතිල්ල පිතිකරුවන්ට යෝග්‍ය එකක් බව පෙනී ගියේය. මෙම ක්‍රීඩාංගණයේ පවත්වා තිබූ දිවාරාත්‍රී තරඟ 10 න් 6ක්ම ජය ගැනීමට සමත්ව තිබුනේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩයමයි. අනපේක්ෂිතව කාසිය වාසිය දෙවරක් උරගා බලන්නට සිදුව තිබුණේ සංගා ගේ ඉල්ලීම තරග තීරකවරයාට හරිහැටි ශ්‍රවණය වී නොතිබීමත් නිසාවෙන්. දෙවන වතාවේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. 
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)

ඒවන විට ශ්‍රී ලංකාවට මහත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවී තිබුනේය. ඒ ඇන්ජලෝ මැතිව්ස්ට අවසන් පූර්ව තරඟයේ හටගත් ආබාධය නිසා අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට නොහැකිවීමයි. තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා පිලේ දුර්වල ස්ථානයක් වූ මැදපෙල සමබර කල මැතිව්ස් නොමැති වීම පිරිමැසිය නොහැකි පාඩුවක් විය. මේ නිසා අතුරේ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළ කණ්ඩායමට වෙනස්කම් 4ක් කර තිබුණු අතර එය ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ මවිතයට ද හේතු වී තිබිණි. 

සහීර් ඛාන් ගේ තර්ජනාත්මක පන්දු යැවීම හා ඉන්දීය කණ්ඩායමේ තියුණු පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ උපුල් තරංග හා ඩිල්ශාන්ට ලකුණු ලබාගැනීම එතරම් පහසු නොවීය. සහීර් ඛාන් ගේ පළමු පලමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර වූ අතර ගොඩනැඟුණු පීඩනය හමුවේ උපුල් තරංග ලකුණු 2ට දැවී ගියේය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඕවර 6.1 ට 17-1 ලෙස දැක්විනි. ඉන්පසුව කුමාර් සංගක්කාර පිටියට පිවිසි අතර පලමු පන්දුවාර 10 අවසානයේ ශ්‍රී ලංකා පිල රැස්කර ගෙන තිබුණේ ලකුණු 31 පමණි. 17 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ හර්බජාන් සිං, තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ තිලකරත්න දිල්ෂාන් ලකුණු 33 කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමමින්. හර්බජාන් සිං පා ඉන්නට එපිටින් පතිත කළ පන්දුවට ඩිල්ශාන් ස්වීප් පාරක් එල්ල කළ මුත් අත් ආවරණයේ  වැදී පන්දුව කඩුල්ලේ දැවටුනේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි. ඒවනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 60-2 ලෙස දිස්විය.
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
එන්න එන්නම මන්දගාමී වූ තණතීරුවේ ඉන්දියානු පීඩනය මැද මහේල හා සංගක්කාර ක්‍රමයෙන් ඉනිම ගොඩ නගන්නට විය. 28 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ යුවරාජ් සිං ගේ 5 වන පන්දුව සංගක්කාරගේ පිත්තේ වැදී දෝනිගේ දෑතේ සුරක්ශිතවීම නිසා සංගා ක්‍රීඩා පිටියෙන් ඉවත් වන විට ලකුණු 48ක් රැස් කොට තිබුනේය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 122-3 ලෙස දිස් විය.මේ අතරවාරයේ අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් මහේල ජයවර්ධන සිය අර්ධ ශතකය වාර්තා කළේය. ඉන්පසුව ගොඩනැගුණු ලකුණු 57 ක මහේලගේ හා සමරවීරගේ සම්බන්ධතාවයද බිඳ දැමීමට යුවරාජ් සිං සමත් විය. 39 වන පන්දු වාරයේ දී  යුවරාජ් යොමුකළ පන්දුව තිලාන් සමරවීරගේ පා ආවරණයේ වැදී ප්‍රබල ඉල්ලීමක් කලත් විනිසුරු සයිමන් ටෝෆල්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එහෙත් යුවරාජ් සිං ගේ දැඩි ඉල්ලීම මත දෝනි විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු වූ අතර එය දැවී යාමක් ලෙස සටහන් වීම නිසා ලකුණු 21ක් ලබා සිටි සමරවීරට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
ලෝක කුසලාන අවසන් මහා තරඟය වෙනුවෙන්ම කණ්ඩායමට පැමිණි චාමර කපුගෙදර අසාර්ථක වූයේ සහීර් ඛාන් ගේ වේගය අඩාල කළ පන්දුවට Short extra cover හි සිටි රයිනාට පහසු උඩ පන්දුවක් ලබා දීමෙනි. පන්දුවාර 40ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 183-5 ලෙස දැක්වුණේ ඉන්දියාව දෙසට වැඩි වාසි දෝලනය කරමින්.

එහෙත් මහේල හා එක් වූ කුලසේකර තිරිංග මාරු කරමින් වේගයෙන් ලකුණු රැස් කිරීමට යොමුවන්නට විය. 48 වන පන්දු වාරයේ දී පළමු පන්දුවටම කුලසේකර Midwicket කලාපයෙන් හයේ පහරක් ගුවන් ගත කලේය.ඒත් සමගම මෙතෙක් වේලා පිත්ත ගිනියම් කළ ජයවර්ධන ද හතරේ පහරක් එල්ල කරමින් ශතකය ආසන්නයට පැමිනීමත් සමඟ තරඟය උනුසුම් මුහුණුවරක් ගත්තේය. වැඩිකල් වෙලා නොගත් මහේල ඊළඟ පන්දුවත් Mid off කලාපයෙන් හතරේ සීමාවට යොමු කලේ ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන ශතකයක් සනිටුහන් කරමින්. "Goes offside.. Save your legs.. Mahela Jayawardane.. A High class innings from a high class player. The biggest stage & sri lankan has delivered, What an innings" විස්තර විචාරක අට්ටාලයේ නසාර්  හුසේන් පවසන විට ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ ගිය බවට කිසිම සැකයක් නැත.
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
මහේලගේ ඉනිම හතරේ පහර 13කින් වර්ණවත් වී තිබිණි. සහීර් ඛාන් ගේ ඊළඟ පන්දුවට ලකුණක් ලබා ගැනීමට උත්සාහ දැරුවත් දෝනිගේ පන්දු රැකීම හමුවේ කුලේ කඩුල්ල පූජා කරමින් දැවී යන විට, ඔහු අගනා ලකුණු 32 ක් රැස්කර තිබිණි. එමෙන්ම සහීර් ඛාන් යොමුකළ ඉනිමේ අවසන් පන්දු වාරයේ තිසර පෙරේරා පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළේ ඉන්දීය ප්‍රේක්ෂකාගාර තක්කු මුක්කු කරමිනි. ඉන් නොනැවතුණු තිසර තම ගිනියම් වූ පිත්තෙන් අවසන් පන්දුව Deep square leg කලාපය හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කළේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 274 කට ඔසවා දමමින්. They believe, Sri Lanka belive..! නසාර් හුසේන් පැවසූ පරිදිම ඇත්තටම අපි විශ්වාස කළෙමු.
 
පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 274 කඩුලු 6ක් ලෙස දැක්වුණු අතර අවසන් පන්දුවාර 10 දී ලකුණු 91 රැස්කිරීමට සමත් ව තිබුණේ මහේල, කුලසේකර හා තිසරට පින්සිදුවන්නටය. මුලින්ම හොඳින් පන්දු යැවූ සහීර් ඛාන් වරෙක පන්දුවාර  7-3-16-2 ලෙස දිස් වුනත් අවසන් පන්දු පන්දුවාර 3ට ලකුණු 44ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් ඔහුගේ පතුරු හැර තිබිනි. හර්බජාන් හා යුවරාජ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගිය අතර ඉන්දීය පන්දු රැකීම ප්‍රශංසනීය මට්ටමක විය.

ඉන්දියාවට ලෝක කුසලානය ජය ගැනීමට නම් ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම හඹා යෑම ඔවුන් ඉදිරියේ විය. ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරුවන් දෙපළ වූ විරේන්දර් ෂෙවාග් සහ සචින් ටෙන්ඩුල්කාර් පිටියට පැමිණෙන විට රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ දැවැන්ත ඔල්වරසන් හිමි වූයේ ඔවුන් ක්‍රීඩා කළ අවසන් ලෝක කුසලානය එය බැවින්. එහෙත් ලසිත් මාලිංග යොමු කළ දෙවන පන්දුවම ෂෙවාග්ගේ පා ආවරණයේ වැදීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ඉල්ලීමට එකඟව විනිසුරු අලීම් ඩාර්ගේ එසැවුණු ඇඟිල්ල ඉන්දියානුවන් කම්පනයට ලක්කිරීමට සමත් විය. තෙවන විනිසුරුට යොමු කළත් දැවීයාම ස්ථිර වූ බැවින් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට ශෙවාග්ට සිදුවිය. 
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)

ඉන්පසුව ටෙන්ඩුල්කාර් සමගින් එක්වූ ගාම්භීර් ලකුණු වේගය රඳවාගනිමින් පිතිකරණයේ යෙදෙන්නට විය. 7 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංගගේ පිට ඉන්නට ඉවතින් ඇදීගිය පන්දුව සචින්ගේ පිත්තේ වැදී කුමාර් සංගක්කාර උඩ පන්දුව රැක ගැනීමත් සමග ඉන්දියාවේ දෙවන කඩුල්ල බිඳ වැටී ගියේය. එය වන්කඩේ ප්‍රේක්ෂකාගාර පමණක් නොව බිලියනයකට අධික ඉන්දියානුවන්ද මොහොතකට නිහඬ කරන්නට සමත් විය. ඉන්දියානු ලකුණු පුවරුව 31-2 ලෙස දැක්වුණු අතර එයින් ඉන්දියානුවන් සිය ලෝක කුසලාන සිහිනය නිමා වූ බවට තීරණය කරන්නටද ඇත.

එහෙත් ගාම්භීර් හා එක්වූ විරාට් කෝලි පිටියේ ස්ථවර වීමට පන්දුවාර කීපයක් ගත කළත් වේග පන්දුවට ක්‍රමයෙන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. එමනිසා කුමාර් සංගක්කාර සුරාජ් රන්දිව්ට පන්දුව භාර දෙන්නට තීරණය කළේය. 3වන පන්දුවට ගාම්භීර් එල්ල කළ Inside out පහර ගුවනට මුසුවූයේ ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදාකර දෙමිනි. නමුත් long on කලාපයේ සිටි කුලසේකර අතින් උඩපන්දුව ගිලිහී ගියේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කරමින්. 
 
ඒ වන විට වනවිට ගාම්භීර් රැස් කොට තිබුණේ ලකුණු 38ක් පමණි.ඉන් අනතුරුව ලබාගත් ග්‍රහණය මදකට අඩු නොකොට ඉන්දීය පිතිකරු යුගලය පන්දුපිටියේ හිස්තැන්වලට පන්දුව යොමු කරමින් ලකුණු සොරා ගන්නට විය. ඩිල්ශාන් ක්‍රියාත්මක කල 22 පන්දුවාරයේ තුන්වන පන්දුවට කෝලි long on දෙසට ඩ්‍රයිව් පහරක් එල්ල කලේය. එය පෙරලා විශිෂ්ට උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගැනීමට  ඩිල්ශාන් සමත් විය. ඒත් සමග ඉන්දියානු ලකුණු පුවරුව 114-3 ලෙස දිස්විය. 
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
ඉන් අනතුරුව සියල්ලන් මවිතයට පත් කරමින් මහේන්ද්‍ර සිං දෝනි අංක 5 පිතිකරුවා ලෙස පිටියට පිවිසියේය. මෙය උපක්‍රමික තීරණයක් වූ අතර දෝනිට වඩාත් හොඳින් මුරලි ඇතුලු දඟ පන්දු යවන්නන්ට මුහුණදීමට ඇති හැකියාව හා වමත්-දකුණත් සුසංයෝගයක් පවත්වා ගැනීමත් එයින් බලාපොරොත්තු විය. නමුත් තරගාවලිය පුරා ලකුණු අතර සිටි යුවරාජ් සිංට පෙරාතුව ලකුණු අතර නොසිටි දෝනි, මේ තීරණාත්මක මොහොතේ පැමිණීම සමහර විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක්වී තිබිණි.

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මනා පාලනයකින් යුතුව පන්දුවට පහරදුන් දෙපළ දුර්වල පන්දු දුටු සැණින් හතරේ සීමාවට යොමු කිරීමට පසුබට නොවීය. ශ්‍රී ලංකා දඟ පන්දු තුරුම්පුව වූ මුරලිට ද ඇතිවූ තිබූ අබාධය හා රාත්‍රීයේ ඇතිවූ පින්නත් සමග වෙනදා මෙන් පන්දුව දඟ කැවීමට නොහැකිව තිබිණි. ඉතා ඉක්මනින් කඩුල්ලක් බලාපොරොත්තු ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් මාරු කළ ද ඉන් සාර්ථක  ප්‍රතිඵලයක් ලැබුණේ නැත. පන්දු වාර 30ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව 151-3 ලෙස දිස් වූ අතර ජයග්‍රහණයට තවත් පන්දු 120 කින් ලකුණු 124 හතරක් අවශ්‍යව තිබුනි.
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
තම ජීවිතයේ වැදගත්ම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාම්භීර් ලකුණු 97 ලබා සිටියදී තිසර ක්‍රියත්මක කල 42 පන්දුවාරයේ  2 වන පන්දුව ප්‍රේක්ෂකාගාරයට යොමු කිරීමට උත්සාහ දැරූ නමුත් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී යාම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. එම ඉනිමට දර්ශනීය හතරේ පහර 19ක් අන්තර්ගත විය. ශතකයක් ලබා නොගත්තද එම ඉනිම ඒවන විටත් ශ්‍රී ලංකාවට මහත් විනාශයක් කර තිබිණි. ගාම්භීර් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව 223-4 ක් ලෙස දිස්විය. අවසන් පන්දුවාර 3ට ලකුණු 16ක් ලබාගත යුතු මොහොතක මාලිංග ක්‍රියාත්මක කල 48 පන්දුවාරයේ පිට පිට හතරේ පහර දෙකක් සමගින් ලකුණු 11 ක් ලබාගත්තේ ශ්‍රී ලාංකීය බලාපොරොත්තු සුළඟේ පා කර හරිමින්.
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
කුලසේකර  ක්‍රියාත්මක කළ 49 පන්දුවාරයේ 4 වන පන්දුවට දෝනි Long on කලාපයෙන් එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමග බිලියනයකට අධික ඉන්දියානුවන් සතුටු කඳුළු සයුරේ ගිල්වමින් ලෝක ශූරයන් වීමට ඉන්දියාව සමත් විය. "Dhoni finishes off in style, Magnificent strike into the crowd. India lift the worldcup after 28 years." විස්තර විචාරයේ සිටි රවී ශාස්ත්‍රී හඬින් එලෙස ඇසෙන විට මිලියන විස්සකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ දෑසට කඳුළක් එක් කළේ මාස එක හමාරකට අධික නිදි වර්ජිතව ගත කළ බලාපොරොත්තු සිඳී යාමත් සමඟයි. තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 91 රැස්කල මහේන්ද්‍ර සිං දෝනි දිනාගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8ක් සහ හයේ පහර 2කින් වර්ණවත් වී තිබිණි. තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ යුවරාජ් සිං තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට දිනා ගැනීමට සමත් විය.

2007 ලෝක කුසලාන මූලික වටයෙන්ම ඉවතට විසි වීමට සිදු වූ ඉන්දියාව සිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැලසුම් මත හා දෝනිගේ නායකත්වය මෙන්ම ගැරී කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය මත අවසාන වසර කිහිපයේම සාර්ථක දස්කම් පෙන්වා තිබිණි.ඒ මොහොත වන විට ලෝක ක්‍රිකට් ශ්‍රේනිගතකිරීම්හි අංක එකේ සිටි ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටයේ පරාජය කළ ඉන්දියාව අවසන් තරගයේදී තරගයේ දී  දැක් වූ දක්ෂතා ශ්‍රී ලංකාවේ මට්ටමට වඩා ඉහළින් තිබූ බව පිළිගත යුතුමය. ලෝක කුසලානය අහිමි විමේ අමිහිරි මතකයට තවත් කඳුළක් එක් වූයේ සුපිරි දඟ පන්දු යවන්නා වූ මුරලිදරන් එක්දින පිටියෙන් සමුගැනීමත් නිසාවෙන්. 

පසුකාලීනව මේ තරඟය ශ්‍රී ලංකාව ඉන්දියාවට පාවා දුන්නායැයි රාවයක් ශ්‍රී ලාංකිකයන් අතර පැතිර ගියත් අදටත් එය ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත. තරඟය කලින් සිටම පරාජයට පත්වීමට අවශ්‍ය වූවා නම් මහේල ජයවර්ධනගෙන් අවසන් මොහොතේ එවන් ප්‍රහාරත්මක ශතකයක් දියත් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම මාලිංගගේ හා ඩිල්ශාන් ගේ කඩුලු සැමරීම් බලන විට ඔවුන්ට අවශ්‍යව තිබුණේ ජයග්‍රහණයම පමනක් බව ඉතාම පැහැදිලිය. අනෙක එකල ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයන් එවැනි දෙයකට තම ආත්මය පාවා නොදෙනු ඇතිබව මගේ විශ්වාසයයි. පසුකාලයක මේ තරගය පිළිබඳව මුරලිදරන් chat-athon වැඩසටහනේදී දැක්වූ අදහස් කියවා බලන මෙන් මම ඔබට ආරාධනා කරමි.  

"අවසන් මහා තරඟය වෙද්දි මටත් යම් අබාධයක් තිබුනා. ඇන්ජලෝ මැතිව්ස් සම්පූර්ණයෙන්ම අබාධ වෙලා තිබීම ලොකු පාඩුවක් උනා. මැදපෙළ මැතිව්ස්ගෙ අඩුව නිසා හඹායනවා කියන එක අවදානම් වැඩක් කියල අපිට තේරුනා. ඒ නිසයි අපි මුලින් පන්දුවට පහරදුන්නෙ. හැබැයි වන්කඩේ පිටියට රාත්‍රියේ දි පින්න එන බව අපි දැනන් හිටියා. ඒත් තරඟ තීරකවරයා කිව්වා, බය වෙන්න එපා, අපි ස්ප්‍රේ එකක් කරනවා. ඒකට පින්න එන්නෑ කියල. ඒත් ඒක උනේ නෑ..පන්දුවාර 20කට පස්සෙ මටවත් පන්දුව අතට අහුවුණේ නෑ.. මාලිංග ටත් Reverse swing කරන්නවත් බැරි වෙලා තිබුනේ. මම කියන්නෑ ඉන්දිය කණ්ඩායම අදක්ෂ බව. ඔවුන්ට ගෞරවය හිමිවෙන්න ඕන, ඔවුන් හොඳටම කරා. නමුත් අපිට අවස්ථාවක් තිබ්බා. ඒක තරඟ පාවාදීමක් නෙමෙයි. වැරදි ගණනය කිරීමක් විතරයි. අපි එවෙලේ ගත්තු තීරණ හරි කියලා හිතුවේ. නමුත් ඒක එහෙම උනේ නෑ. ක්‍රිකට් එහෙම තමයි." සැබෑවටම ක්‍රිකට් එසේමය.

ලෝක කුසලාන තරඟාවලියක් සාමාන්‍ය තරඟාවලියකට වඩා දිගින් වැඩි හෙයින් කණ්ඩායමේ රිද්මය, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය අවසන් මොහොත දක්වාම දක්වා ම පවත්වා ගත යුතුය. එමෙන්ම අවසන් මොහොතේ දී ගනු ලබන තීරණ මෙන්ම වාසනාවද කුසලාන හිමිකාරීත්වය තීරණය කරනු ඇත. 

"ජයග්‍රහණයට පියවරුන් දහසකි. පරාජය අවජාතක දරුවෙකි" යන ප්‍රසිද්ධ කියමන වඩාත් වලංගු වන්නේ මෙවැනි ලෝක කුසලාන පරාජයන් අබියසය.මෙම පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වඩාත් සංවේදී වූයේ මෙම තරගාවලියට සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව මාස ගණනක් තිස්සේ ක්‍රීඩාංගණ තුනකුත් නිර්මාණය කරමින්,මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම දුන් ප්‍රචාරයන් හා අවසන් ලෝක කුසලානයත් පරාජයට පත්ව තිබූ පසුබිම නිසයි. 

සියලු ලෝක කුසලාන අතුරින් වඩාත්ම වේදනාත්මක ම පරාජය මෙම තරගය බවට කිසිදු සැකයක් නැත. මේ සටහන ලියන මට ද නැවත නැවත තරගයේ පුනරූපණය බලන විට  "මේක මෙහෙම වුනානම්" යන්න සිය වතාවක් පමණ සිත තුල හොල්මන් කළේය. නමුත් 2011 තරඟාවලිය පුරාම සිංහයන් දැක් වූ දක්ශතා අමතක කල නොහැක. අද මේ සටහන ලියන විට 2015, 2019 ලෝක කුසලාන තරඟාවලි දෙකක් නිමාව දුටුවත් එකී තරගාවලි ද්විත්වයේම අවසන් පූර්ව වටයටවත් පැමිනීමට ශ්‍රී ලංකා පිලට නොහැකි වී තිබේ. මේ 2011 වේදනාව නැතිවීමට නම් තවත් එක්දින ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ යුතුය. දහඩිය,කඳුළු හෙළමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් හුරේ දමන්නට එකතු වන ක්‍රිකට් ප්‍රේමීන් හට සාධාරණයක් ඉටුවන්නේ එතකොටය. පිට පිට අවසන් තරඟ දෙකකට ශ්‍රී ලංකාව රැගෙන එන්නට සටන් කල ක්‍රීඩකයන්ටද එය මහත් සැනසිල්ලක් වනු ඇත. ඉදිරියේදී හෝ එම අහිංසක බලාපොරොත්තුව ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙන් බලා සිටිමු.
  (Image Courtesy - https://www.espncricinfo.com/icc_cricket_worldcup2011/content/image/index.html?object=381449)
 
හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය
 
අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...
 

Comments

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19