2012 T20 World Cup Final - Episode 06 (SL vs WI)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2012 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2012 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක... 
Image Courtesy - (https://www.thesportsmirror.com/2012/10/a-tactical-view-of-world-t20-final-master-jayawardene-simple-sammy-and-and-determined-samuels/)

 ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ සෑම තැනකම නිශ්චිත ස්වභාවයකින් පැවතියද විවිධ රටවල ආවේණික වර්ණයන්ගෙන් එය අලංකාර වී තිබේ. ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද එයටම ආවේණික වර්ණයකින් යුක්තය. පපරේ හඬින් හැඩ වුණු ගීත, අපේම ක්‍රිකට් වදන් මාලාව, පුරාවෘත්ත බඳු ක්‍රීඩකයන්, අමතක නොවන තරග මෙන්ම ලෝක කුසලාන ජයග්‍රහණ වලින් හෙබි ශ්‍රී ලාංකික අපි සාඩම්බර ක්‍රිකට් සංස්කෘතියක උරුමකරුවන් වෙමු. ඕනෑම රටක ක්‍රිකට් සංස්කෘතිය ලෝකයට වඩාත් විදහා දැක්වෙනුයේ ලෝක කුසලාන තරගමාලාවක සත්කාරකත්වය දරණ විටය. ශ්‍රී ලංකාවට එකී වාසනාව උදා වන්නේ 2012 වසරේදී පළමුවරට සම්පූර්ණ ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලැබීමේ බැරෑරුම් වගකීමත් සමගින්.   

හතර වන වරටත් සංවිධානය කෙරුණු T20 ලෝක කුසලාන තරග මාලාව 2012 වසරේ සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 7 දක්වා තරඟ 27කින් සමන්විත විය. T20 ක්‍රිකට් ලෝක ශූරයන් වීමේ බලාපොරොත්තුවෙන් රටවල් 12 කාණ්ඩ හතරක් ඔස්සේ කඳවුරු බැඳ ගත්හ. 2011 එක්දින ලෝක කුසලාන පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක්වූ අතර මහේල ජයවර්ධන නැවත ක්‍රිකට් සුක්කානම භාර ගැනීමත් සමග එය හරි පාරට වැටී තිබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළද සුබවාදී බලාපොරොත්තු ඇතිකර තිබිණි. 
 Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/585578.html?object=533296;dir=next)
හම්බන්තොටින් ආරම්භ කළ සිංහ දඩයම පල්ලෙකැලෙන් නිමා වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මහේල ජයවර්ධනගේ තීක්ෂණ නායකත්වයත්, මුල්පෙළ  පිතිකරුවන් ගේ පිති හරඹය හා පන්දු යැවීමේ බල ඇණියේ විවිධත්වය හමුවේ ප්‍රතිවාදීන් පසුබැස ගොස් තිබිණි. ඔක්තෝබර් 4 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති අවසන් පූර්ව තරගයේදි පාකිස්තානය ලකුණු 16 කින් පරාජයට පත් කරමින්, අවසන් මහා තරගයට වරම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය. අනිකුත් අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ඕස්ට්‍රේලියාවට ලකුණු 74ක දරුණු පරාජයක් උරුම කර දෙමින්, අවසන් මහා තරඟයේ තමන්ගේ ස්ථානය වෙන්කර ගත්තේය.
Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/585722.html?object=533297;dir=next)

ශ්‍රී ලංකාව මෙන්ම කොදෙව්වන්ද ක්‍රිකට් ලෝක කුසලානයක් හිමිකර ගැනීමේ දීර්ඝකාලීන පිපාසයකින් පෙලුනු කණ්ඩායම් ද්විත්වයක් විය. ශ්‍රී ලංකාව අවසන් වරට  ලෝක කුසලානයක්  හිමිකරගෙන තිබුනේ 1996 දී වූ අතර කොදෙව්වන් ලෝක ශූරයන් වී තිබුණේ 1979 දීය. මෙම කණ්ඩායම් ද්විත්වය අතුරින් ශ්‍රී ලංකාව තරගාවලිය පුරාම වඩාත් ස්ථාවර දස්කම් දක්වා තිබීම නිසා අවසන් තරඟය කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් විය. නමුත් ඕනෑම මොහොතක පත්තු විය හැකි ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කොදෙව්වන් තරගාවලියේ අවසන් භාගය වන විට තමන්ගේ රිද්මයට හොඳින් අවතීර්ණ වී තිබිනි.

ඔක්තෝබර් 7 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය 35,000 කට අධික ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගිය අතර සියලු ප්‍රේක්ෂකාගාර වල සිංහ කොඩිය ලෙළ දෙමින්, පපරේ නාදයෙන් ක්‍රීඩාංගනය ගිගුම් දෙන්න විය. දඟ පන්දු යවන්නන්ට උචිත මන්දගාමී තණතීරුවේ කාසියේ වාසිය දිනු කොදෙව් නායක ඩැරන් සැමී පළමුවෙන් පන්දුවට පහරදීමට පහරදීමට තීරණය කළේය. "අපි දන්නවා, ශ්‍රී ලංකාව හෙට දිනයේදී ලොකු සාදයක් දාන්න ඉන්න වග. අපි අද රාත්‍රියේ දී එය විනාශ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ" කොදෙව් නායක සැමී ප්‍රකාශ කලේය. කොදෙව්වන් අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම මේ තරගයටද නම් කර තිබූ අතර ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී හොඳින් දස්කම් දක්වා තිබූ හේරත් වෙනුවට 19 හැවිරිදි අකිල ධනංජය එක් කිරීමට පියවර ගෙන තිබිනි.එයට හේතුව වූයේ අකිල සතුව තිබූ ඉහළ පන්දු විවිධත්වයත් කොදෙව්වන් තරගාවලිය පුරාම වමත් දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දී තිබීමත් නිසාවෙන්.
 Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
කොදෙව්වන්ගේ ආරම්භක පිතිකරුවන් ලෙස ජොන්සන් චාර්ල්ස් සහ ක්‍රිස් ගේල් පිටියට පිවිසි අතර මැතිව්ස්ගේ පළමු පන්දු හතරටම ලකුණු ලබා ගැනීමට ලබාගැනීමට ජෝන්සන් චාල්ස්ට නොහැකි විය. ඒත් සමග ගොඩනැගුණු පීඩනයෙන් සිටි චාල්ස් පස්වන පන්දුවට එල්ල කළ පහරින් ඉහල නැගුණු පන්දුව කුලසේකර රැකගැනීමත් සමග කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර බිඳ වැටී ගියේය. මාලන් සැමුවෙල්ස් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර මැතිව්ස්,කුලේ, මාලිංග ඉතාම ඉහළ පාලනයකින් යුක්තව පන්දු යවමින් ග්‍රහණය දැඩි කරන්නට විය. Universal Boss නමින් විරුදාවලිය ලත්  ක්‍රිස් ගේල් දෙස ලොවම බලා සිටියේ අවසන් පූර්ව තරගයේදී කැන්ගරුවන් ගෙදර යවන්නට එල්ල කළ ප්‍රහාරය නිසාවෙන්. එහෙත් 6 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ අජන්ත මෙන්ඩිස්, ක්‍රිස් ගේල් ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමත් සමඟ දැවී යාම නිසා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් දැවැන්ත ඔල්වරසන් නැගෙන්නට විය. ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ ගේල් කොතරම් අසරණ වීද යත් පන්දු 16කදී ලබාගෙන තිබුණේ ලකුණු 3ක් පමණි. Powerplay පන්දුවාර 6 අවසානයේ කොදෙව් ලකුණු පුවරුව 14-2 ලෙස දිස් වුනු අතර ලකුණු වේගය නිසාම විදුලි ආලෝක මධ්‍යයේ පවත්වන ටෙස්ට් තරගයක් සිහිපත් විය.  
 Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
සැමුවෙල් සමඟ එක් වූ ඩ්වේයින් බ්‍රාවෝ  කඩාවැටුණු කොදෙව් ඉනිම ගොඩනඟන්නට උත්සාහ කලත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට සමත්ව තිබුණේය. පන්දුවාර 12 ක් අවසානයේ කොදෙව්වන් ලබා තිබුණේ ලකුණු 48 ක් පමනි. තවදුරටත් ආරක්ෂාකාරීව පන්දුවට පහර දීමෙන් ඵලක් නොවන බව තේරුම්ගත් සැමුවෙල්ස් වහාම ආක්‍රමණශීලීව පහරදිය යුතු බව තේරුම් ගත්තේය. අන්ත දෙකෙන්ම දඟපන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියද කඩුල්ලක් අපේක්ෂාවෙන් 13 පන්දුවාර‍ය වෙනුවෙන් ලසිත් මාලිංග කැඳවීමට මහේල තීරණය කළේය. මියෙම්වා හෝ රැකෙම්වා යන බලාපොරොත්තුවෙන් සිටි සැමුවෙල්ස් මේ ඕවරයේදී ප්‍රහාරය දියත් කරන්නට විය. දෙවන පන්දුව මිඩ් විකට් කලාපයෙන් හයේ පහරක් එල්ල කරමින් නොනැවතුනු සැමුවෙල්ස් ඊලඟ පන්දුවත් extra cover කලාපයෙන් දැවැන්ත හයේ පහරක් ගුවන් ගත කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට යම් තිගැස්මක් එක්කරමින්. ඕවරයේ අවසන් පන්දුවත් Long on  කලාපයෙන් 6 සීමාවට යොමුකරමින් එම පන්දුවාරයට ලකුණු 21ක් සොරාගැනීමට සැමුවෙල්ස් සමත් විය.
 Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
එහෙත් 14 වන පන්දු වාරය ක්‍රියාත්මක කල අජන්ත මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට ඩ්වේන් බ්‍රාවෝ හසු කර ගනිමින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. නමුත් ජීවන් මෙන්ඩිස් යොමුකල 15 පන්දුවාරයේ මාලන් සැමුවෙල්ස් සීමාවෙන් ඉදිරියට පැන එල්ල කල පහරින්, පන්දුව ප්‍රේක්ෂකාගාරයේ නතර කිරීමත් සමඟ සිය අර්ධ ශතකය වාර්තා කළේ තමන් තරගය අත හරින්නට සූදානම් නොමැති බව පෙන්වමින්. ඉහල කාය ශක්තියෙන් යුතු වුවද ක්‍රිකට් ක්‍රීඩාව මානසික සංග්‍රාමයක් බව පෙන්වා දුන් අජන්ත මෙන්ඩිස්, කිරන් පොලාඩ් ලකුණු 2කට පිටියෙන් ඉවත් කළ අතර ඊලග පන්දුවෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගනිමින් ඇන්ඩ්‍රේ රසල් ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ශ්‍රී ලංකා ප්‍රේක්ශකාගාර වල උපරිම ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ය. 16 වන පන්දු වාරය නිමා වෙද්දී කොදෙව් ඉනිම දිස් වූයේ 89-5 ලෙසයි.

තවදුරටත් තමන්ගේ හොඳම පන්දුයවන්නා විශ්වාස කරමින් ශ්‍රී ලංකා නායකයා 17වන පන්දුවාරයත් මාලිංගට බාර දුන්නේ‍ය. එහෙත්  සැමුවෙල්ස් මෙල්ල කිරීමට ඔහුට හැකිව තිබුණේ නැත. තම ගිනියම් වූ පිත්තෙන් තුන්වන පන්දුව Thirdman කලාපයෙන් හතරේ සීමාව පසුකළ අතර Short length හි පතිත වූ ඊළඟ පන්දුවටද හුක් පහරින් ලකුණු 6ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පිලට සිතන්නටවත් ඉඩක් ඉතිරි නොකරමින්.ඉන්පසුව මාලිංග තම භයානක අවිය වූ යෝකර් පන්දුවක් එල්ල කළත් සැමුවෙල්ස් එල්ල කල පහරින් පන්දුව ගුවන්ගත වී නැවතුනේ මීටර් 108 ක දුරිනි. එය තරගාවලියේ එල්ල කළ දැවැන්තම හයේ පහරද විය. මාලිංගට එල්ල වූ මේ ප්‍රහාර හමුවේ පන්දුරකින්නන් ප්‍රේක්ෂකයන් බවටද ප්‍රේක්ෂකයන් පන්දු රකින්නන් බවටද පත් වි තිබිණි.ඒත් සමග කොදෙව් ලකුණු පුවරුව 108-5 දක්වා ඉහළ නැංවී ගියේය.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
18 වන පන්දුවාරය ක්‍රියාත්මක කල අකිල ධනංජයගේ පලමු පන්දුවටම සැමුවෙල්ස් පා ඉන්න දෙසින් හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ කලත් ඉහල නැගුණු පන්දුව රැකගැනීමට ජීවන් මෙන්ඩිස් සමත්වීය. ශ්‍රී ලංකාවට මෙතෙක් වේලා හිසරදයක්ව සිටි සැමුවෙල්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් වනවිට පන්දු 56කින් ලකුණු 78 ක් ලබා සිටි අතර ඔහුගේ  ඉනිම හතරේ පහර 3ක් හා හයේ පහර 6 කින් වර්ණවත් වී තිබිණි.ඉන්පසුව පිටියේ ඩැරන් සැමී හා දිනේෂ් රාම්ඩීන් 7වන කඩුල්ලට නොදැවී ලකුණු 29 සම්බන්ධතාවයක් එක් කලහ. කුලසේකර යොමුකල ඉනිමේ අවසන් පන්දුවත් හතරේ සීමාවට යැවූ සැමී ඉනිම අවසන් වනවිට නොදැවී ලකුණු 26ක් ලබාගත් අතර කොදෙව් ඉනිම කඩුලු 6කට ලකුණු 137 දක්වා එසවීමට සමත් විය. පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් කඩුලු 4ක් ලබා ගත් අතර ඇන්ජලෝ  මැතිව්ස් හා අකිල ධනංජය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබිණි. 
T20 පිටියේ හොඳම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් පිලිගැනෙන මාලිංගට උණ ගැනෙන්නට පහරදුන් කොදෙව්වන් ඔහුගේ පන්දු වාර 4 ට ලකුණු 54 ක් ලබාගෙන තිබුණේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින්.වරින් වර දෙපිලටම දෝලනය වූ තරගයේ පළමු අර්ධය සැමුවෙල්ස්ගේ ප්‍රහාරයත් සමග අවසන් පන්දුවාර 10 ට ලකුණු 108ක් රැස් කිරමින් සටන්කල හැකි ලකුණු පුවරුවක් කරා යෑමට කොදෙව්වන් සමත් වී තිබිණි.
ශ්‍රී ලංකාවේ ජයග්‍රහනය වෙනුවෙන් පන්දුවාර 20 කදී ලකුණු 138ක් ගැනීම බැලූ බැල්මට පහසු ඉලක්කයක් සේ පෙනුනද මන්දගාමී තණතීරුවක එවන් ලකුණු සංඛ්‍යාවක් වුවද ආරක්ෂා කරගත කර ගත හැකි බව ශ්‍රී ලංකාවම අවසන් පූර්ව තරගයේදී පෙන්වා දී තිබුණේය.

තරගාවලිය පුරාම ලකුණු අතර සිටි දිල්ශාන් හා මහේල පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් දිරිගැන්වීම් මධ්‍යයේය. එහෙත් දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කල රවී රාම්පෝල් ගේ පළමු පන්දුවම දිල්ෂාන්ගේ පිත්ත පරයමින් පිට ඉන්නේ වැදිගියේ එය කරත්ත රෝදයක් මෙන් කැරකී යමින්. රාම්පෝල් සිය දබරඟිල්ල මුවගට තබා ශ්‍රි ලංකා ප්‍රේක්ෂකාගාරයට නිශ්ශබ්දවන ලෙස සන් කලත් ඒ වන විටත් ක්‍රිඩාංගන‍යම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද වී තිබිණි. ඩිල්ෂාන් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වන විට 6-1 ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්විය. සංගක්කාර හා මහේල ක්‍රමයෙන් ඉනිම ගොඩ නඟන්නට වූ අතර පලමු පන්දුවාර 6 නිමාවන විට ලකුණු පුවරුව 30-1 ලෙස දිස්විය.
ලෝක කුසලාන අවසන් මහා තරගයේ පීඩනය නිසාවෙන්දෝ ආරක්ෂාකාරී පිති හරඹය නිසා ලබා ගත යුතු ලකුණු වේගය තරමක් ඉහළ ගොස් තිබිණි. එනිසා සැමුවෙල් භාද්‍රී යොමුකළ 10වැනි පන්දුවාරයේදී සංගා එල්ල කල පුල් පහරින් ඉහල ගිය පන්දුව පොලාඩ්ගේ විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීම හමුවේ ශ්‍රී ලංකා පිලේ දෙවන කඩුල්ල බිඳ වැටී ගියේය. ඒත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව 51-2 ලෙස දිස්විය. මේ නිසා තරඟය දෙපිලටම සමබර වූ අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 87ක් පන්දු 60 කදී ලබා ගැනීමට අවශ්‍යව තිබිණි.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
ඩැරන් සැමී ක්‍රියාත්මක 11වන පන්දු වාරයේ පළමු පන්දු තුනටම ලකුණු ලබාගත නොහැකිවීමේ පීඩනයෙන් පෙලුනු මැතිව්ස් හතරවන වන පන්දුවට අසම්මත scoop පහරක් එල්ල කිරීමට උත්සහ කළත් මගහැරුණු පන්දුව කඩුල්ලේ දැවටීමත් සමඟත් තුන්වන කඩුල්ල දැවී ගියේය. ඒත් සමඟ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ නළල රැලි ගැන්වුණේ අතට ගත් ජයග්‍රහණය තුරුලු කරගන්නට නොහැකි වේ යැයි දෙගිඩියාවෙන්. ඒත් සමග අවාසනාවන්ත ලෙස සිහින් වර්ෂාවක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇදහැලෙන්නට විය. D/L න්‍යාය අනුව ඒ වන විට ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව ඉහළ නැග තිබුණු බව දුටු මහේලට වහාම ඉක්මන් ප්‍රහාරයක් දියත් කළ යුතු බව හැඟී ගියේය. එම නිසා සුනිල් නරීන් යොමු කළ 12 වන පන්දු වාරයේ පළමු පන්දුවටම මහේල රිවර් ස්වීප් පහරකට යොමුවන්නට තීරණය කළේ point හා Gully හි පන්දු රකින්නන් දෙනාට ඉහළින් හතරේ සීමාවට පන්දුව යොමුකිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් පිත්තේ ඉහළ දාරයේ වැදුනු පන්දුව point හි සිටි සැමීගේ දෑතේ සුරක්ෂිතවූයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරය කම්පනයට ලක් කරමින්. ඉතාමත් හොඳින් පිටියේ ස්ථාවර වී සිටි මහේල ලකුණු 34ක් ලබා සිටියදී දැවීයාම තරඟයේ තීරණාත්මක අවස්ථාවක් විය. ඒ සමග ශ්‍රී ලංකා ඉනිම 61-4 ලෙස කඩා වැටී තිබිණි. 
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
මේ සමග නොසන්සුන් වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනය හමුවේ තම වගකීම් හරි හැටි තේරුම් ගැනීමට අපොහොසත් විය. 13වන පන්දුවාරයේ ජීවන් මෙන්ඩිස් ලකුණු 3කටද 14 වන පන්දුවාරයේ තිසර පෙරේරා ලකුණු 3 කටද දුවද්දී දැවී යන්නේ අනවශ්‍ය කලබලය හමුවේය. හොඳින් පිත්ත හැසිරවිය හැකි අවසන් පිතිකරුවන් දෙදෙනා ලෙස තිරිමාන්න හා කුලසේකර පිටියේ හුදකලා විය. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට ලකුණු 12ක වේගයකින් යා යුතු බැවින් තිරිමාන්න 15 වන පන්දු වාරයේ 3වන පන්දුවට ඉහලින් පහරක් එල්ල කලත් පන්දුව නැවතුනේ ජෝන්සන්ගේ දෑතෙහිය. ඒත් සමඟ තමන් ජයග්‍රාහී සීමාවට ආසන්න බැව් තේරුම් ගත් කොදෙව්වන් තරඟාවලිය පුරාවටම ඔවුන්ගේ සලකුණ වූ ගංග්නම් ස්ටයිල් නර්තනයෙන් දැවීයාම සමරන්නට විය. 
ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 72-7ක් ලෙස දැක්වුණු අතර අනපේක්ෂිත දරුණු පරාජයක් හිමිවන්නට නියමිත බව පෙනී ගියේය. එහෙත් බලාපොරොත්තු අත නොහළ කුලසේකර, රවී රාම්පෝල් ගේ 16 වන පන්දු වාරයේ Mid wicket කලාපයෙන් දැවැන්ත හයේ පහරක් ගුවන්ගත කළේය. ඉන් නොනැවතුණු කුලේ ඊළඟ පන්දු තුනටම පිට පිට හතරේ පහරවල් 3ක් එල්ල කිරීමත් සමඟ සැඟවුණු ශ්‍රී ලංකා කොඩි නැවත ළෙල දීමට පටන් ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතර ද යම් බලාපොරොත්තුවක් ගොඩනැගෙමින් තිබුනු බැවින්. එහෙත් 17 වන පන්දුවාරය යොමුකළ  සැමුවෙල් බාද්‍රී ගේ පන්දුවට කුලසේකර එල්ල කළ පහරෙන් deep extra cover හි සිටි පොලාඩ්  උඩ පන්දුව රැක ගැනීමත් සමග කුලසේකර දැවීගියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුළඟේ පා කර හරිමින්. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද තමන්ගේ රාත්‍රිය බවට පත්කරගත් සැමුවෙල්ස් ශ්‍රී ලංකා පිලේ නමවන කඩුල්ල ලෙස මෙන්ඩිස් ක්‍රීඩාගාරයට හරවායැවීය. 
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
19 වන පන්දුවාරයේ 4 වන පන්දුවට මාලිංග එල්ල කළ පහරින් ගුවනට මුසු පන්දුව Long on හි සිටි බ්‍රාවෝ  රැක ගැනීමත් ශ්‍රී ලංකාවේ අවසන් කඩුල්ලද බිඳ වැටී ගියෙන් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සතු කර ගැනීමට කොදෙව්වන් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ සියලු ක්‍රීඩකයන් ලකුණු 101 දැවී ගොස් තිබුණු අතර ලකුණු 36 කින් තරඟය ජයග්‍රහණය මෙන්ම ලෝක කුසලානයද කොදෙව්වන් සතු විය. ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම විනෝදකාමීම කණ්ඩායම වූ කොදෙව්වන් ගංග්නම් ස්ටයිල් නර්තනයෙන් හා විවිධ නර්තන අංග වලින් ලෝක ශූරයන් වීමේ ප්‍රීතිය සමරද්දී ශ්‍රී ලංකාවට සිදුවූයේ අනපේක්ෂිත අමිහිරි පරාජයක් විඳිමින් නැවතවරක් අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නටය. තරඟයේ වීරයා සම්මානය මාලන් සැමුවෙල්ස් සිනා දිනාගත් අතර තුන් ඉරියව්වෙන් හපන්කම් පෑ ශේන් වොට්සන් තරගාවලියේ වීරයා විය.

70-80 දශකයන් වල ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයන් වූ කොදෙව්වන් කාලයත් සමග ක්‍රිකට් පිටියේ පතුලට වැටී තිබිණි. 2012 ලෝක ශූරයන් වීම, කැරිබියන් දූපත් වලට ක්‍රිකට් උණ නැවත උත්තේජනය කිරීමට සමත්විය. 2012 අහම්බයක් කර නොගත් ඩැරන් සැමී ප්‍රමුඛ කොදෙව් පිල 2016 දී ද නැවත T20 ලෝක කිරුළ හිමිකර ගැනීම එයට කදිම නිදසුනකි.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
අවසන් වසර පහක කාලය තුළ ලෝක කුසලාන අවසන් මහා තරග 4කට වරම්  ලබාගත්තද එකී තරග හතරම පරාජය වීම දරාගත නොහැකි වේදනාවක් ක්‍රීඩකයන්ට මෙන්ම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ද ඉතිරි කළේය. එම අවසන් තරඟ වෙන වෙනම අධ්‍යයනය කළහොත් පරාජයට හේතු වූ අනන්‍ය හේතූන් සොයා ගත හැකිය. එහෙත් මීට පෙර කොදෙව්වන් සමග ක්‍රීඩා කර තිබූ T20 තරග හතරම ශ්‍රී ලංකාව ජය ගෙන තිබීමත් ලෝක කුසලානයේදී සුපිරි අට වටේදී කොදෙව් තරගය පහසුවෙන් ජය ගෙන තිබූ පසුබිමක මෙම අවසන් මහා තරඟය පරාජයට පත්වීම ඛේදජනකය. එනම් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය එයමය. දිනයේ අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායම ජය ගනු ඇත. 

එමෙන්ම දිගින් දිගටම අවසන් තරග පරාජය වීමේ බියකරු මතක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මනසේ හොල්මන් කරමින් පීඩනයක් වී ඇති බව මෙම තරඟයේදී පැහැදිලි විය. අවසන් මහා තරඟයේ තීරණාත්මක අවස්ථාවන් හිදී සුපුරුදු දක්ෂතා අතරට පැමිනිමට නොහැකිවීම එම පීඩනයේ ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දෙන විට එම පීඩනයෙන් මිදී තරගය තමන් සතු කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මහේල අවසන් වන තෙක් කඩුල්ලේ රැඳුණා නම් තරගයේ ජයග්‍රහණය කරනු ඇති බව බොහෝ දෙනාගේ මතය විය. 2012 දී නායක මහේල ගේ හිතුවක්කාර රිවර් ස්වීප් පහරින් අහිමි වූ ලෝක කුසලානය පිලිබඳව ඉතිහාසය එවැනිම අපූරු උදාහරණයක් මතක් කර දුන්නේ එංගලන්ත නායක මයික් ගැටිං එල්ල කල රිවර් ස්වීප් පහරින් එංගලන්තයට 1987දී අහිමි වූ ලෝක කුසලානයයි. දෙදෙනාම තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවන් මෙන්ම ක්‍රිකට් පිටියේ මහ මොලකරුවන් දෙදෙනෙකි. නමුත් හිතුවක්කාරී පහරකින් ලෝක කුසලානය දෝතට ගන්නට දෙදෙනාටම වරම් නොලැබීම දෛවෝපගත සිද්ධියකි.
 Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2012/content/image/index.html?object=533298)
 2012 ලෝක කුසලාන කුසලානයේ සත්කාරක වගකීම්ද මනාව ඉටු කළ ශ්‍රී ලංකාව අවසන් තරඟය පරාජයට පත් වුවත් තරගාවලිය පුරාම පෑ දස්කම් සදා මතකයේ රැඳෙන බවට සැකයක් නොමැත. එලෙස තරගාවලිය පුරා ම හොඳින් දස්කම් දක්වා අවසන් කණ්ඩායම් දෙක අතර තේරීම ලෙහෙසි පහසු නොවන කටයුත්තක් බව අමතක නොකළ යුතුය. කිසිදා ලෝක කුසලාන අවසන් මහා තරඟයට නොපැමිණි රටවල් අතුරෙන් අපි වාසනාවන්ත වන්නේ එබැවිනි. එමෙන්ම ලෝක කුසලාන හතරක පරාජයන් අභියස ප්‍රචණ්ඩ නොවී සංවේදී වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද දෛවය තවත් අවස්ථාවක් ලබාදීමට කුරිරු නොවනු ඇත.
 
හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය
අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...

Comments

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19