2014 T20 World Cup Final - Final Episode - 07 (SL vs IND)

ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2014 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන ගමන්ම මේ ලිපි පෙළින් සමුගන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වුණේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. මේ ලිපි පෙළ පුරාම අපිට හිරාන් ලබාදුන්න සහය ඉතාමත් ඉහලයි. ඔහුට ස්තුති කරන ගමන් අපි එකතු වෙමු ක්‍රිකට් අවසන් තරඟ ගැන ලියවෙන අවසන් ආටිකල් එක විදියට ඔබට රැගෙන එන 2014 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක...
Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368) 

ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම යනු ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාවයි. 2007- 2012 දක්වා වසර පහක කාලය තුළ අවසන් මහා තරඟ හතරක් පරාජයට පත්වීම නිසා, බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවන මනමාලිය ශ්‍රී ලංකාවයැයි උපහාසයට ලක්කර තිබිණි. පස්වන T20 ලෝක කුසලානය 2014 වසරේ බංග්ලාදේශයේ දී ඇරඹෙන්නේ එවන් පසුබිමකයි. එවර තරඟාවලිය මාර්තු 16 සිට අප්‍රේල් 06 දක්වා තරඟ 35 කින් සමන්විත විය. එමෙන්ම රටවල් 16ක් ලෝක ශූරයන් වීමේ අභිප්‍රායෙන් කඳවුරු බැඳ ගත්හ.

T20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව බංගලාදේශයේ තරඟ සංචාරයක් හා එහිදීම ආසියානු කුසලානයට තරග වැදීමට හැකි වීම ශ්‍රී ලංකා පිලට මහඟු අවස්ථාවක් විය. අවසන් තරඟ පරාජය විමේ පීඩනයෙන් සිටි ශ්‍රී ලංකාව, පාකිස්ථානය පරදවා ආසියානු කුසලානය හිමිකර ගැනීම T20 ලෝක කුසලානය කෙරෙහි සුබවාදී බලාපොරොත්තු ඇති කර තිබිණි. නමුත් එකී බලාපොරොත්තුවට හෙණ ගෙඩියක් පාත් වී තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා පාලක මණ්ඩලය අතර ක්‍රීඩක කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ඇතිවූ සීතල යුද්ධයත් සමඟය. එය කෙතරම් දුරදිග ගියාද කියතොත් මහේලට හා සංගක්කාරට තරගාවලිය පුරාම මාධ්‍ය තහනමක් පනවන්නට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබිණි. කෙසේ වෙතත්  තරඟාවලියට පෙරම මහේල හා සංගා ප්‍රකාශ කර තිබුණේ මේ ඔවුන්ගේ අවසන් T20 ලෝක කුසලාන තරඟාවලිය බවය.

මූලික වටයේ තරග නිමා වන විට 01 වන කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට සිංහයන් සමත් ව තිබුණේ සුවිශේෂී දස්කම් රැසක් සමගිනි. ක්‍රිකට් ලොවේ ලිලිපුට්ටන් වූ නෙදර්ලන්තය ලකුණු 39කට දවාලමින් පොඩිපට්ටම් කර දමා තිබුණේ එකල T20 රටාවේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම බවට පත් කරමින්. මූලික වටයේ නවසීලන්තය හා පැවති තරඟය දෙපිලටම තීරණාත්මක වූයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන බැවිනි. නමුත් එහිදී ශ්‍රී ලංකාව ලකුණු 119කට සියලු ක්‍රීඩකයන් දැවී ගිය අතර ලෝක කුසලාන ඉරණම නිමාවට පත්වන බව පෙනෙන්නට විය. එහෙත් සිය වමත් දඟ පන්දුවෙන් කිවියන් දණ ගැස් වූ රංගන හේරත් ලකුණු 3ට කඩුලු පහක් ලබා ගනිමින් අමතක නොවන පන්දු යැවීමක නිරත විය. එම තරගයේ නවසීලන්තය ලකුණු 60කට සීමා කළ සිංහයන් නොපෙනී ගිය ජයග්‍රහණයක් තමන් සතුකරගැනීම තරඟාවලිය තුල ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය ලෙස සනිටුහන් විය.

අප්‍රේල් 03වනදා පැවති අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාවට හමුවූයේ 2012 T20 ලෝක කුසලානය තමා ගෙන් උදුරා ගත් කොදෙව්වන්ය. ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් ඉනිම වර්ෂාව හමුවේ තරගය නතර කරන විට ඕවර 13.5 දී 80-4 ලෙස දිස්විය. ICC තරඟාවලින්හිදී අවසන් තරග කීපයකදීම වර්ෂාව ශ්‍රී ලංකාවට ඔච්චම් කලත් මෙහිදී ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව සමත් විය. තරඟය D/L න්‍යාය අනුව ලකුණු 27 කින් ජය ගැනීමත්  සමග ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට වරම් ලබා ගත්තේය. මෙහිදී කොදෙව් නායක ඩැරන් සැමී කල ප්‍රකාශය මහත් ආන්දෝලනාත්මක එකක් විය. 
"මං හිතන්නේ දෙවියන්ට ඕනෑ ඇති සංගා-මහේල ගේ සමුගැනීම ඉහලින්ම වෙනවා දකින්න. ඒක නිසා වෙන්න ඇති, දෙවියන් මේ තරඟයට අත දැම්මේ."
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
අනෙකුත් අවසන් පූර්ව තරගයේදී එතෙක් අපරාජිත ඉන්දියාව විසින් දකුණු අප්‍රිකාව කඩුලු 6කින් පරාජයට පත්කරමින් අවසන් මහා තරඟයේ තමන්ගේ ස්ථානය වෙන්කර ගත්තේය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් දකුණු අප්‍රිකාවේ ජය ප්‍රාර්ථනා කළේ ආසියානු බිමක ඉන්දියාවට වඩා ඔවුන් පහසු ප්‍රතිවාදීන් වූ බැවිනි. නමුත් ඉන්දියාව ජය ගැනීම තුළ 2011 දී  උරුම කළ වේදනාව වෙනුවෙන් වාඩුව පිරිමසාගැනීමට ශ්‍රී ලංකාවට මහත් ඕනෑකමක් විය. 
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
දක්ශතා වලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු අඩුවක් නොවූ අතර අවසන් තරගයේ මානසික සංග්‍රාමයට හැඩ ගැසීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා  පුහුණුකරුවන් ඉදිරියේ වූ අභියෝගය විය. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරඟාවලිය ආරම්භ කළද නවසීලන්ත තරඟයේදී ඔහුට තරඟ තහනමක් හිමි වීම නිසා පසුව නායකත්වය ලසිත් මාලිංගට ලැබී තිබිණි. නායකත්වය පිලිබඳ පරිණත අත්දැකීම් සමුදායකින් හෙබි මහේල,සංගා,ඩිල්ශාන් ගේ මගපෙන්වීම නිසා එය එතරම් අර්බුදයක් වූයේ නැත. T20 ලෝක කුසලානයට පෙරාතුව පැවති  බංග්ලාදේශයේ මාස දෙකකට ආසන්න සංචාරයන් නිසා අනිත් කිසිම කණ්ඩායමකට වඩා එහි දේශගුණය,තනතීරු පිළිබඳ මනා අවබෝධයක් ශ්‍රී ලංකා පිල සතුවිය. එහෙත් ආසන්නතම ලෝක කුසලාන තරග හතරක් පරාජය වීමේ පීඩනය සුළු පටු නොවීය. අවසන් මහා තරඟයට පෙර සංගක්කාර  මහේලට කතා කලේ පසුගිය අතීතය ගැනය. "Shit. Final 4ක් පැරදුනා. හදිසියෙවත් මේකත් පැරදුනොත් මොකක්ද කරන්න ඉන්නේ." මහේලගේ පිලිතුර වූයේ "සමහර විට ලණුවක් අරන් ගහක එල්ලෙන්න තමයි වෙන්නේ."

අවසන් කණ්ඩායම් රැස්වීමේදී පන්දු යැවීමේ මෙන්ම පිතිකරණය පිළිබඳ සැලසුම්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විනි. ඉන්දීය පිල ලකුණු හඹා යෑමේ රුසියන් වූ බැවින් කාසියේ වාසිය ජයගතහොත් පළමුව පන්දු යැවීමට තෝරාගත යුතු බව බොහෝ දෙනාගේ මතය විය. අප්‍රේල් 06 වනදා ඩකා මීර්පූර්හි ෂියර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණය 25,000කට අධික ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේ උණුසුම් තරඟ අත්දැකීමක් අපේක්ෂාවෙන්. ඉන්දියානුවන් හැරුනු විට බංග්ලාදේශ ප්‍රේක්ෂකයන්ගේ සහයත් හිමිව තිබුණේ ශ්‍රී ලංකාවටයි. තරගය ආරම්භයට පෙර මද වර්ෂාවක් වැටුනද මුළු පන්දුවාර සංඛ්‍යාව පැවැත්වීමට එය බාධාවක් නොවීය. පිතිකරුවන්ට මෙන්ම දඟ පන්දුවට උචිත තණතීරුවේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සැලසුම් කළ පරිදිම පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය. ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරඟයට ක්‍රීඩා කළ කණ්ඩායමම මෙම තරඟයටද එක්කල තිබූ අතර ශ්‍රී ලංකාව සීකුගේ ප්‍රසන්න වෙනුවට තිසර පෙරේරා කැඳවා තිබිණි.

රෝහිත් ශර්මා හා අජින්ක්යා රහනේ ඉන්දියානු ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර ඉක්මනින්ම ඉන්දියානු ආරම්භය බිඳ දමන්නට මැතිව්ස් පියවර ගත්තේ අජින්කයා රහනේ දෙවන පන්දුවාරයේම ක්‍රීඩාගාරයට හරවා යවමිනි. ඒ මැතිව්ස්ගේ පන්දුව රහනේගේ පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ලේ දැවටීමත් සමඟයි. ඒත් සමඟ ඉන්දීය ලකුණු පුවරුව 4-1 ලෙස දිස්විය.ඉන්පසුව තරඟාවලිය පුරාම පිත්තෙන්  අණසක පැතිරූ විරාට් කෝලි පිටියට පැමිණි අතර Powerplay පන්දුවාර 6 අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව දිස් වූයේ දිස්වුයේ 31-1 ලෙසයි. හත්වන පන්දුවාරයට ශ්‍රී ලංකා නායකයා සිය තුරුම්පුව වූ හේරත් ආක්‍රමණයට කැද වුවත් එහි පළමු පන්දුවට ම කෝලි ලබා දුන් උඩ පන්දුව මාලිංග අතරින් ගිලිහී ගියේය. එය ලෝක කුසලානය ගිලිහී යෑමක්දැයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් තුල ප්‍රශ්නාර්ථයක් ඉතිරි විය.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
නමුත් ඕනෑවට වඩා අඩව් අල්ලන්නට ඉන්දීය පිතිකරුවන්ට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු බලඇණියේ පන්දු යැවීම හමුවේ පන්දුවාර 10ක් අවසාන ඉන්දීය ලකුණු පුවරුව 64-1 ලෙස දිස්විය. 11 පන්දුවාරය ක්‍රියාත්මක කළ හේරත්ගේ පන්දුවට Cover drive පහරක් එල්ල කිරීමට රෝහිත් ශර්මා උත්සාහ දැරුවත් සචිත්‍ර සේනානායකගේ දක්ෂ උඩපන්දු රැකීම හමුවේ ඉන්දීය දෙවන කඩුල්ල බිඳ වැටී ගියේය. ඒ සමග රෝහිත් ලකුණු 29කට පිටියෙන් ඉවත් වූ අතර යුවරාජ් සිං පිටියට පැමිණියේය. මේ අතර වාරයේ විරාට් කෝලි ඉන්දීය ඉනිමේ නැංගුරම වෙමින් සිය අර්ධ ශතකය වාර්තා කළේය. විරාත් කෝලි එක් අන්තයක ස්ථාවර ව පන්දුවට පහර දීම නිසා අනෙක් අන්තයේ පිතිකරුවා දිගු පහරවල්වලට යෑම ඉන්දියාවට අවශ්‍ය වී තිබුණි. එහෙත් යුවරාජ් සිං තමාගේ රිද්මයට පැමිණීමට නොහැකිව තිබීම ඉන්දීය පිල මෙන්ම ප්‍රේක්ෂකයන්ද නොසන්සුන්තාවයට ඇද දමන්නට විය. ඒ නිසාම විරාත් කෝලිට ප්‍රහාරය දියත් කරන්නට සිදු වූ අතර 16වන පන්දුවාරයේ පළමු පන්දුව ම Long on කලාපයෙන් හයේ පහරක් ගුවන් ගත කරමින් නොනැවතුණු විරාට් පිට පිට 4 පහර දෙකක් එල්ල කළේ ඉන්දීය බලාපොරොත්තු ඉහළ දමමින්. 16වන පන්දුවාරය අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව 111-2 ලෙස දැක්වුණු අතර ඉන්දියාව තරමක ප්‍රබල ස්ථානයක පැවැතීම නිසා අවසන් පන්දුවාර හතර දෙපිලටම තීරණාත්මක විය.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත ලෙස පන්දු යැවීම හමුවේ යුවරාජ් සිං මෙන්ම විරාට් කෝලිටත් කර කියා ගන්නට දෙයක් තිබුණේ නැත. හයේ, හතරේ පාරවල් තියා පිටියේ හිස්තැන් වලටවත් පන්දුව යොමු කර ගැනීමට නොහැකිව සිටි යුවරාජ්, කුලසේකර යොමුකළ 19වන පන්දු වාරයේ පළමු පන්දුවට එල්ල කළ පහරින් ගුවන්ගත වූ පන්දුව නැවතුනේ long on කලාපයේ සිටි තිසර පෙරේරාගේ දෑතෙහිය. යුවරාජ් සිං කොතරම් අසරණ වීද යත් පන්දු 21කින් ලබාගෙන තිබුණේ ලකුණු 11ක් පමණි. ඉන් පසුව එකල ලොව හොඳම ඉනිම අවසාන කරන්නා ලෙස ප්‍රසිද්ධ ඉන්දීය නායක M.S.දෝනි පිටියට පිවිසියත් කුලේ හා මාලිංගගේ පිට ඉන්නට ඈතින් පන්දු යැවීමේ උපක්‍රමය හමුවේ දිගු පහරවල් වලට යන්නට හැකිව තිබුණේ නැත. ඉනිමේ අවසන් පන්දුවට කෝලි ලකුණු දෙකක් කරා පැති මාරු කර ගැනීමේදී සචිත්‍රගේ විශිෂ්ට  පන්දුරැකීම හමුවේ දුවද්දී දැවී ගිය අතර ඒ වන වනවිටත් ඔහු පන්දු 58 කින් ලකුණු 77ක් රැස්කර ගැනීමට සමත් වී තිබිණි. එය දැකුම්කලු හතරේ පහර 5ක් හා හයේ පහර හතරකින් වර්ණවත් විය. නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව 130-4ක් ලෙස දිස්විය. පන්දු යැවීමේදී මැතිව්ස්,හේරත්, කුලසේකර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබිණි. අවසන් පන්දුවාර 4තුළ එකදු හතරේ හෝ හයේ පහරක් ලබා නොදීමට තරම් පීඩනයක් එල්ල කල ශ්‍රී  ලංකා පන්දු යවන්නන් ගේ Death Bowling කලාව සියලු විස්තර විචාරකයන්ගේ නොමද ඇගයීමට ලක් විය.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
ආරම්භක පිතිකරුවන් ලෙස T.M දිල්ශාන් හා කුසල් පෙරේරා පිටියට පිවිසි අතර කුසල් පළමු පන්දුවේ පටන්ම ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීමට උත්සාහ දැරිය. නමුත් මෝහිත් ශර්මා  යැවූ දෙවන පන්දු වාරයේ පළමු පන්දුවටම කුසල් වේගයෙන් එල්ල කළ පහරින් පිත්තේ ඉහල දාරයේ වැදුනු පන්දුව ඉහල ගියේය. Mid off හි සිටි ජඩේජා උඩපන්දුව රැක ගැනීමත් සමඟ කුසල් ක්‍රීඩා පිටියෙන් ඉවත් විය.ඒත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 05-1 ලෙස දිස් වූ අතර මහේල අංක 3 පිතිකරුවා ලෙසින් පැමිණියේය. මහේල හා T.M ඩිල්ශාන්  සංයමයෙන් ඉනිම ගොඩ නගන්නට වූ අතර අතර දුර්වල පන්දුවක් දුටු සැණින් හතරේ සීමාවට යොමු කිරීමට පසුබට වූයේ නැත. එහෙත් අශ්වින් ක්‍රියාත්මක කල 06 වන පන්දු වාරයේ අවසන් පන්දුවට ඩිල්ශාන් එල්ල කළ ස්වීප් පහරින් පන්දුව ගුවනට මුසුවිය. නිසැක හයේ පහරක් ලෙස පෙනී ගියත් Deep Sqaure Legහි සිටි කෝලි හතරේ සීමාව ආසන්නයේ දක්ෂ දෙස උඩපන්දු රැක ගැනීම සමඟ ශ්‍රී ලංකාවේ දෙවන කඩුල්ල බිඳ වැටී ගියේය. ඒ අනුව ඩිල්ශාන්  ලකුණු 18කට පිටියෙන් ඉවත් වූ අතර පවා Power Play පන්දුවාර 6 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 41-2 ලෙස දිස්විය.
ඉන්පසුව තරඟාවලියේ එතරම් ලකුණු අතර නොසිටි කුමාර් සංගක්කාර පිටියට පිවිසියේය. තණතිල්ල දඟ පන්දු යවන්නන්ට වාසිදායක බව තේරුම් ගත් ඉන්දීය නායක දෝනි, අමිට් මිෂ්රා ,ජඩේජා හා රයිනා පන්දු යැවීමට කැඳවූයේ ඉක්මන් කඩුල්ලක් ලබා ගැනීමේ අටියෙනි.

"ඒ වෙලාවේ කඩුලු දෙකක් දැවී ගිහින් මමයි මහේලයි ඉනිම ගොඩ නගමින් හිටියේ. මං ඊට කලින් දවසෙ රෑත් කල්පනා කළා, ජඩේජා මට Around the wicket ආකාරයෙන් පන්දු යොමු කරයි කියලා.. මොකද Semi Final Match එකෙත් J.P.ඩුමිනිටත් එහෙම පන්දු යවපු නිසා. එතනදි ඩුමිනි ස්වීප් පහරවල් ගහන්න ගිහින් හිර වෙලා හිටියේ.. හැබැයි Final මැච් එකේදී  ජඩේජා short square leg වල පන්දු රකින්නෙක් තියාගෙන over the wicket පන්දු යවන්න ගත්ත එක මාව පුදුම කළා. ඒ fielder එක්ක පිටිපස්සේ සෑහෙන ඉඩක් තිබ්බ නිසා රිස්ක් එකක් අරන් short square leg වල පන්දු රකින්නාට ඉහලින් ගැහුවොත්, ලේසියෙන්ම හයේ, හතරේ පහරක්  අරගෙන පීඩනය ජඩේජාට දාන්න පුළුවන් කියලා මට තේරුනා."
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
සංගා සිතූ අයුරින්ම ජඩේජා යොමුකළ 9වන පන්දුවාරයේ පළමු පන්දුව Backward Square Leg කලාපයෙන් හතරේ සීමාවට යොමුකර ඉන් නොනැවතුනු සංගා හතරවන පන්දුව ස්වීප් පහරින් දැවැන්ත හයේ පාරක් එල්ල කළේ ඉන්දියානුවන් තිගැස්මට පත් කරමින්.
"ඇත්තටම මම එම තරඟාවලිය පුරාම ලකුණු අතර හිටියෙ නැහැ.. ඒ පහරවල් දෙක මට සෑහෙන්න විශ්වාසයක් ආවා, දිගටම ඉනිම සෙල්ලම් කරන්න"

දහවන පන්දුවාරය ක්‍රියාත්මක කළ රයිනාගේ පස්වන පන්දුවට මහේල එල්ල කළ පහර උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූයේ තරඟය දෙපිලටම සමබර කරමින්.  ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් T20 තරඟයේ මහේල අගනා ලකුණු 24ක් ලබා තිබුණේ හතරේ පහර 4ක් සමගින්. ඉන්පසුව ලහිරු තිරිමාන්න පිටියට පිවිසි අතර පන්දුවාර 10 අවසානය ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69-3 ලෙස දිස්විය. ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 60 කින් තවත් ලකුණු 62ක් අවශ්‍ය වූ බැවින් පිටියේ හිස්තැන්වලට පන්දුව යොමු කරමින් ඉනිම ගොඩනැගීමට සංගා හා තිරිමාන්න දැරීය.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
නමුත් පාදඟ පන්දු යවන අමිත් මිෂ්රා යොමු කළ 13වන පන්දු වාරයේදී තිරිමාන්න එල්ල කල පහරින් පිත්තේ වැදුනු පන්දුව දෝණිගේ දෑතේ සුරක්ෂිත විය. ඒ සමඟ තිරිමාන්න ලකුණු 7කට දැවීයාම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්  කම්පනයට පත් කලේය. පන්දුවාර 13ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 78-4 ලෙස දිස් වූ අතර ඉන් පසු තිසර පෙරේරාගේ ආගමනය සිදුවිය. තීරණාත්මක මොහොතේ පැමිනි තිසරට සංගා කලයුත්ත පිලිබඳව ලබාදුන් උපදෙස් තිසර පසුව ආවර්ජනය කලේ මෙලෙසිනි.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
"පැන්ඩා, Spin එකේ බෝලේ හොඳටම කැපෙනවා. ඒනිසා ඔයාගේ තැනට වැටුනොත් බය නැතුව ගහන්න. කුමාර් අය්යා හොඳට බැට් කරුපු එකත් මට ලොකු Confidence එකක් ආවා. ඒ වෙලාවේ අමිත් මිෂ්රා ඉතාම හොඳට බෝල් කර කර හිටියේ.. සංගා කිව්වෙත් එයාගේ Legspin, Googly දෙකම හොඳට කැපෙන නිසා බලල එලියටම ගහන්න කියලා.. මම හිතුවා, මගේ Hitting Zone එකට වැටුනොත් අනිවාර්යෙන්ම ගහනවා කියලා."

14 වන පන්දු වාරය තරඟයේ දෙපිලටම තීරණාත්මක වූයේ මිෂ්රා නැවත කැඳවන්නට දෝනි තීරණය කළ බැවිනි. එහෙත් මිෂ්රා යොමු කල පලමු පන්දුවම තිසර පෙරේරා Long On කලාපයෙන් හයේ පහරක් ගුවන් ගත කිරීමට සමත් වන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාර උන්මාදයට පත් කරමින්.ඒත් සමග පදම් වී තිබූ තම පිත්තෙන් සංගාද මිෂ්රා ගේ හතර වන පන්දුව Short Fine Leg කලාපයෙන් හතරේ සීමාවට යොමු කරන්නේ සන්සුන් දෝනිගේ සිතේ ප්‍රශ්නාර්ථ රැසක් ගොඩ නගමින්. ඉන්දීය පන්දු යවන්නන්ට ස්ථාවර වීමට ඉඩ නොදුන් සංගා හා තිසර 16වන පන්දු වාරය අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 යේ සීමාවට ඔසවා තබන්නේ ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන එමින්. සංගා එල්ල කල හතරේ පහර හා තිසර ගේ යෝධ හයේ පහරත් සමඟ 17වන පන්දුවාරයෙන් ලකුණු 15ක් සොරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.  
අශ්වින් ක්‍රියාත්මක කල 18 වන පන්දුවාරයේ පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළ සංගාක්කාර සිය අර්ධ ශතකය වාර්තා කලේ ඩකා පිටිය පුපුරවා යන තරමට නැගුණු  ප්‍රේක්ෂක ඔල්වරසන් මධ්‍යයේය. ක්‍රිකට් පිටියේ එදිරිවාදීන් වුවත් කෝලි ඒ මොහොතේම සංගාට සුභ පැතුම් එක් කරන්න්ට අමතක නොකලේය. එම ඕවරයේ පස්වන පන්දුව වන විට ලංකාවේ ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු තුනක් පමණි.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
"පුංචි කාලේ  ඉඳන්ම මට තිබ්බ හීනයක් තමයි, World Cup Final එකක ජයග්‍රාහී හයේ පහරක් විදියට ගහන්න. ඊලඟ පන්දුවට හයේ පහරක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා සීමාවෙන් ඉදිරියට ගියත් අශ්වින් හරිම කපටි විදිහට Wide සීමාවෙන් පන්දුව දැම්මේ. ඉතින් මට අමුතුම පහරකට යන්න උනා. ඒක හයක්".
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
අශ්වින් ගේ පස්වන පන්දුව ඔහුටම ඉහලින් හයේ පහරක් ලෙස ගුවන්ගත වෙද්දි මිලියන විස්සකට අධික  ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සතුටු කඳුළු සයුරේ ගිල්වමින් 2014 T20 ලෝක කුසලානය තම දෝතට ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
"Sri Lanka the new champions of the ICC world T20. Well played. They tried so hard,so many times in the finals..This is their day, just watch the celebration..!! One of the greatest in the game, Kumar Sangakkara finally gets his opportunity under the lights, here Mirpur in Dhaka..!! 

සංජේ මන්ජේකර්ගේ හඩින් විස්තර විචාරය උනුසුම් වෙද්දි , ක්‍රීඩාංගනය ගිනිකෙළි සංදර්ශන වලින් වර්ණවත් වෙන්නට පටන් ගත්තේය. ඒත් සමඟ ක්‍රීඩා පිටිය මැදට දිවගියද ක්‍රීඩකයන් වසර දහඅටකට පසුව දිනූ ලෝක කුසලානය හිතේ හැටියට සමරන්නට විය. බිලියනයකට අධික ඉන්දියානුවන් හඬවමින් T20 ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට හැකිවීම එදා 2011දී රිදුම් දුන් වේදනාව සෑහෙන තරම් පිරිමසා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් තරඟයේදී තම වගකීම් මනාව ඉටු කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් විය. පන්දු 35න් ලකුණු 56ක් වාර්තා කළ සංගක්කාරගේ ඉනිම දැකුම්කළු හතර පහර 6ක් හා හයේ පහරකින් වර්ණවත්ව තිබිණි. තරගාවලියේ වීරයා සම්මානය විරාට් කෝලි දිනාගත්තේ තරගාවලිය පුරා ලකුණු 319ක් රැස් කර තිබුණේ අසාමාන්‍ය ලකුණු 106ක සාමාන්‍යයක්ද සමගින්. 
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)

ආසන්නතම ලෝක කුසලාන හතරක පරාජය නිසා වේදනාවෙන් සිටි ක්‍රිකට් වෙනුවෙන් හුස්ම ගන්නා ශ්‍රී ලාංකිකයන්ට මෙම ජයග්‍රහණය මහත් හැඟුම්බර අත්දැකීමක් විය. 2007- 2014 දක්වා ICC තරඟාවලින් හිදී සමස්තයක් ලෙස ස්ථාවර දස්කම් ඉහළින්ම දක්වා තිබූ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් හිමි විය යුතුව තිබුණේය. කුමක් හෝ අවසානයකට මුල් තරඟාවලි හතර පරාජයට පත් වුවත් මේ තරඟාවලියේද කුසලානය වෙනුවෙන් අධිෂ්ඨානයෙන් සටන් කළ ක්‍රීඩකයන්ට පුහුණුකාරීත්වයට ප්‍රණාමය හිමි විය යුතුමය. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල්ගේ නායකත්ව කැප කිරීම අමතක කරන්නට බැරිය. මෙම තරඟාවලියේ තවත් සුවිශේෂී කරුණක් වූයේ ශ්‍රී ලංකාව කණ්ඩායමක් ලෙස දැක්වූ දස්කම් හේතුවෙන් ක්‍රිකට් කිරුල හිමි කර ගැනීමයි. හොඳම පිතිකරුවන් පස්දෙනා හා පන්දු යවන්නන් පස්දෙනා අතරේ එකදු ශ්‍රී ලාංකිකයෙකු නොවීම එයට කදිම නිදසුනකි.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
එහෙත් ලෝක කුසලාන ජයග්‍රහණයක් නිසා රටේ ක්‍රීඩාව පිබිදීමකට ලක් වීම සාමාන්‍ය සිද්ධියක් වුවත් 2014 ලෝක කුසලාන ජයග්‍රහණය, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් කිරීම සංවේගජනක සිද්ධියකි. ලොවම තිගැස්සූ, එමෙන්ම ලොවම වසඟයට ගත් අපේ කාලයේ සිංහ ක්‍රිකට් සන්නාමය නැවතත් ලෝක ක්‍රිකට් හිනිපෙත්තටම රැගෙන යාමට වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවෙතැයි අපි දෑස් දල්වා බලා සිටිමු.
  Image Courtesy - (https://www.espncricinfo.com/icc-world-twenty20-2014/content/image/index.html?object=628368)
හිරාන් C. චතුරංග 
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය
අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19